2019 වසරේ සංචාරයට හොඳ ම රට ශ්‍රී ලංකාව

2019 වසරේ සංචාරයට හොඳ ම රට ශ්‍රී ලංකාව

by Staff writer 24-10-2018 | 9:03 PM
COLOMBO (News 1st) : 2019 වසර වනවිට සංචාරය සඳහා ලොව හොඳම රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ලෝන්ලි ප්ලැනට් නෙමැති සංචාරක උපදේශන ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය මේ බව අනාවරණය කළේ ය. ලෝන්ලි ප්ලැනට් නමැති සංචාරක උපදේශන ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට අනුව ලොව සංචාරය සඳහා හොඳ ම රටවල් අතර දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ජර්මනියටයි. සිම්බාබ්වේ රාජ්‍ය එහි තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර පැනමාව සහ කිර්ගිස්ථානය පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවලට පත්ව තිබේ. ලෝන්ලි ප්ලැනට්හි කතෘ මැට් පිලිප්ස් සඳහන් කරන්නේ ඉතා හොඳ මාර්ග ජාලයන් පැවතීම නව සංචාරක හෝටල් ඉදිවීම ඇතුළු සංචාරක පහසුකම්හි වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාව ලොව සංචාරකයින් වෙනුවෙන් ඇති හොඳ ම රට බවට පත්වීමට හේතුවී ඇති බවයි. වසර දහස් ගණනක් පැරණි බෞද්ධ සිද්ධස්ථාන , වනජීවී සම්පත , මින්නේරිය වැනි වන අලි ගහණ උද්‍යාන , තේ වතු මැදින් දිවෙන දුම්රිය මාර්ග , කඳු තරණය ආදිය ද සංචාරකයන්ට අමතක නොවන අත්දැකීමක් වනු ඇතැයි ලෝන්ලි ප්ලැනට් වැඩිදුරටත් සඳහන් පවසා තිබේ. යුද්ධය නිමවීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර 2009 වසරේදී හාරලක්ෂ හතලිස් හත් දහස් අටසිය අනූවක් වූ සංචාරක පැමිණීම 2017 නසර වනවිට විසි එක් ලක්ෂය ඉක්මවා තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2020 වසර වනවිට එම සංඛ්‍යාව දෙගුණ වනු ඇති බවයි .