ඒකාබද්ධය ඊයේ රාත්‍රියේ රැස්වෙයි

ඒකාබද්ධය ඊයේ රාත්‍රියේ හිටපු ජනපති නිල නිවසේදී රැස්වෙයි

by Staff writer 24-10-2018 | 9:14 AM
COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවක් ඊයේ පැවැත්විණි. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ය. මෙම හමුවේදී මේ වන විට විසුරුවා ඇති පළාත් සභා පිළිබඳව අවධානයට ලක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ ය. රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ, පළාත් සභා ඡන්දය තවදුරටත් කල් දැමීමට ඉඩ නොදෙන බව ය. විසුරුවා ඇති පළාත් සභාවල ආණ්ඩුකාරවරු පරිපූරක ඇස්තමේන්තු දමා නීති විරෝධී ලෙස මුදල් වියදම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසුවේ, පළාත් සභාවේ අනුමැතියකින් තොරව ආණ්ඩුකාරවරුන්ට කිසිදු මුදලක් වියදම් කිරීමට බලයක් නොමැති බව ය. මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව ද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ය.