උතුරු පළාත් සභාවේ නිල කාලයත් අවසන්

උතුරු පළාත් සභාවේ නිල කාලයත් අවසන්

by Staff writer 24-10-2018 | 6:17 PM
COLOMBO (News 1st) : උතුරු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව පළාත් සභා හයක නිල කාලය අවසන් වනු ඇති. පළාත් සභා මැතිවරණය මෙතෙක් නොපැවැත්වීම පිළිබඳව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අප‍්‍රසාදය පළ කරයි. සබරගමුව, නැගෙනහිර හා උතුරු මැද පළාත් සභා 3 හි නිල කාලය අවසන් වී මේ වන විට වසරක පමණ කාලයක් ගතව තිබේ. මෙම මාසය තුළ දී වයඹ සහ මධ්‍යම පළාත් සභාවල නිල කාලය අවසන් විය. බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභාවල නිල කාලය ලබන වසරේ මුල් කාර්තුවේදී අවසන් වීමට නියමිතයි. පළාත් සභා මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වීමට සීමා නිර්ණ කමිටුව විසින් සකස් කළ වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. අදාළ වාර්තාව මේ නව විට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වය දරණ සීමා නිර්ණ වාර්තා සමාලෝචන කමිටුවේ සමාලෝචනයට ලක් වෙමින් පවතී. සීමා නිර්ණ වාර්තා සමාලෝචන කමිටුවේ නිල කාලය ලබන 28 වන දායින් අවසන් වීමට නියමිතයි. කමිටුවේ කාල සීමාව දීර්ඝ කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා , කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තබේ. මේ අතර , පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ශ්‍රියාණී විජේවික්‍රම මහත්මිය සඳහන් කළේ, මැතිවරණ කඩිනමින් පැවැත්වීමට අදාළව සකච්ඡාවක් පසුගිය දා ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති බවයි. ඊට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් පිරිසක් ද සහභාගී වී තිබේ. එහිදී අවධානය යොමුව ඇත්තේ පැරණි හෝ නව ක්‍රමය යටතේ කඩිනමින් මැතිවරණය පැවැත්වීමටයි.