අවසන් එක්දින තරග ජය 20යි 20ට හොඳ ප්‍රවිෂ්ඨයක් බව නායක දිනේෂ් චන්දිමාල් කියයි

by Staff writer 24-10-2018 | 7:37 AM
COLOMBO (News 1st) - එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වූවද තරගාවලියේ අවසන් තරගය ජය ගනිමින් පන්දුවාර විස්සයි විස්ස හා ටෙස්ට් තරගාවලිය සඳහා ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව ගමන් කිරීමට හැකි වීම සුබවාදී කරුණක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, 5 වන එක්දින ක්‍රිකට් තරගයට පසුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 219කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 366කි. අනතුරුව ලකුණු 367ක ඉලක්කයක් කරා හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වන විට පන්දුවාර 26 යි එක් පන්දුවක් අවසානයේ ඔවුහු කඩුලු 9ක් දැවී ලකුණු 132ක් රැස් කරගෙන සිටියහ. ඒ අනුව නැවත තරගය ආරම්භ නොකළ අතර ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුය ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 219ක ජයක් හිමි විය. එය වාර්තා අතරට එක්වුණේ, වසර 45ක එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ඕනෑම රටකට එරෙහිව එංගලන්ත ක්‍රීඩකයින් හිමි කර ගත් දරුණුතම පරාජය ලෙසයි.