වික්ටෝරියා ජලාශ්‍රයේ ධාරිතාව වාන් මට්ටමට

අධික වර්ෂාවත් සමග වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ්‍රවල ධාරිතාව වාන් මට්ටමට

by Staff writer 24-10-2018 | 6:44 AM
COLOMBO (News 1st) - මධ්‍ය කඳුකරයට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ්‍රවල ධාරිතාව වාන් මට්ටමට ආසන්න වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. රන්දෙණිගල හා රංටැඹේ ජලාශ්‍ර භාර කාර්යභාර ඉන්ජිනේරු කේ.ටී.බී. රාජරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව එම ජලාශ්‍රවල ස්වයංක්‍රීය වාන් දොරටු ඉදිරි පැය කිහිපය තුළ විවෘත විය හැකි බව ය. ඒ හේතුවෙන් මෙම ජලාශ්‍ර ආශ්‍රිතව හා ජලාශ්‍රවලට පහළ මහවැලි ගඟ භාවිත කරන්නන් සැලකිලිමත් වන ලෙස ඔහු ඉල්ලීමක් කරයි. මේ අතර අද දිනයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ මිලීමීටර් 100 කට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.