අග්නිදිග සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ

අග්නිදිග සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ

by Staff writer 24-10-2018 | 3:30 PM
COLOMBO (News 1st) : අග්නිදිග විශ්වවිද්‍යාලයේ සියලු පීඨ අද පස්වරු 4 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබේ. එහි ලේඛකාධිකාරී අබ්දුල් සතාර් මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනෙකුගේ පන්ති තහනමකට එරෙහිව ඔවුන් පරිපාලන ගොඩනැගිල්ල සිය භාරයට ගෙන අඛණ්ඩව විරෝධය පළ කිරීම හේතුවෙන් මේ පියවර ගත් බවයි. දැනට දින 13 ක සිට ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත බව ද ලේඛකාධිකාරිවරයා පැවසී ය. නවක වධය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සිසුන්ට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණ නතර කරන්නැයි, ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව පොලීසියට හා අධිකරණයට කරුණු වාර්තාකර ඇති බව ද අබ්දුල් සතාර් මහතා ප්‍රකාශ කළේ ය.