ශ්‍රී ලංකා - එංගලන්ත 5 වැනි එක් දින තරගය අද යි

ශ්‍රී ලංකා - එංගලන්ත 5 වැනි එක් දින තරගය අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

by Staff writer 23-10-2018 | 6:48 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතවේ.

ඒ, දිවා රාත්‍රි තරගයක් ලෙසයි. ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය තරග 5 කින් සමන්විත අතර 3ට 0ක් ලෙස එංගලන්තය මේ වන විට එහි පෙරමුණේ පසු වනු ඇති. ඊයේ දිනයේදී දෙපිලේම ක්‍රීඩකයින් අද තරගය සඳහා සිය අවසන් පුහුණු සැසියට සහභාගී විණි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පැවසුවේ, කණ්ඩායමේ ඉදිරිපෙළ මෙන්ම මැද පෙළ පිතිකරුවන් අතර මනා සබඳතා ගොඩනගා ගනිමින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ළඟාවීමට උත්සාහ කරන බවයි. නිමා වූ සිව්වැනි තරගය පරාජය වුවද අඩු ලකුණු පරතරයකින් එය පරාජයවීම නිසා කණ්ඩායමේ පිතිකරුවන් පිළිබඳව සෑහීමකට පත්විය හැකි බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් පැවසුවේ, පසුගිය ජයග්‍රහණ හේතුවෙන් කණ්ඩායමේ සියලුම දෙනා මේ වන විට යහපත් මානසික තත්ත්වයෙන් පසුවන බවයි. එම ජයග්‍රාහී මානසික තත්ත්වය අද තරගය සඳහා ද තමන්ට ශක්තියක් බවට ඔහු සඳහන් කළේ ය. අද තරගයට එක්වන අවසන් කණ්ඩායම් පිළිබඳව තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝ රූට් එක්දින ලකුණු 5000 සීමාව පසු කිරීමට තව ත් ලකුණු 64ක් පසුපසින් සිටි. සිරස TV සහ TV1 නාලිකා අද පස්වරු 1.30 සිට තරගයේ සියලු තොරතුරු සජීව ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.