ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තයට අන්ත පරාජයක්

ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තයට අන්ත පරාජයක්

by Staff writer 23-10-2018 | 9:38 PM
COLOMBO (News 1st) - එංගලන්තය සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ය. ඒ, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 219කිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 367ක ඉලක්කයක් කරා හඹා ගිය එංගලන්ත කණ්ඩායම වාර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 26 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 132කි. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඉනිම ආරම්භ කළේ නිරෝෂන් දික්වැල්ල සමගින් සදීර සමරවික්‍රම. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ ලකුණු සබදතාව 137 ක්. මංගල අර්ධ ශතකය වාර්තා කළ සදීර සමරවික්‍රම ලකුණු 54කට දැවී ගියේ ය. 8 වන අර්ධ ශතකය වාර්තා කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 95 යි. නායක දිනේෂ් චන්දිමාල් අද වාර්තා කළේ, 22 වන අර්ධ ශතකයයි. 12 වන අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් පන්දු 33 කින් ලකුණු 56 ක් රැස් කළේ ය. ඊට හයේ පහර 6ක් ඇතුළත් ය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 366ක් රැස් කළේ ය. මෙම ලකුණු සංඛ්‍යාව එංගලන්තට එරෙහිව එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ. ජයග්‍රහණය සඳහා ලකුණු 367ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 4 කදී බිඳ වැටිණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් බෙන්ස් ස්ටොක් ලකුණු 67 ක් රැස් කළේ ය. දුෂ්මන්ත චමීර පන්දුවාර 6 කදී ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත් අතර අකිල ධනංජය පන්දුවාර 6 යි එක් පන්දුවකදී ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 26 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 132 ක් රැස් කර ගෙන සිටියදී වර්ෂාව ඇද හැළුණි.