වයස අවු. 70 ඉක්ම වූ බන්ධනාගාර රැඳවියන් නිදහස් කෙරේ

වයස අවුරුදු 70 ඉක්ම වූ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීමට රජයේ අවධානය

by Staff writer 23-10-2018 | 10:21 AM

COLOMBO (News 1st) - වයස අවුරුදු 70 ඉක්ම වූ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ.

බන්ධනාගාර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැඳවියන්, මරණ දඬුවම හිමි වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ රැඳවියන් එම නිදහස්වීමට අයත් නොවන බවයි. සුළු වැරදි සඳහා සිරදඬුවම් ලැබ සිටින වයස අවුරුදු 70 සම්පුර්ණ කරන ලද බන්ධනාගාර රැඳවියන්ට එලෙස නිදහස ලබාදීමට කටයුතු කරමින් ඇති බව ද ඔහු පැවසුවේ ය. අතිරේක ලේකම්වරයා පැවසුවේ, එවැනි වැරදිවලට සම්බන්ධවී මේ වන විට බන්ධනාගාරගත ව සිටින රැඳවියන් සංඛ්‍යාව 70 කට ආසන්න වන බවයි. එම රැඳවියන්ගේ විස්තර ඒ ඒ බන්ධනාගාරවලින් ලබා ගෙන අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ. මේ අතර සුළු වැරදිවලට සම්බන්ධ අවුරුදු 70 ට අඩු රැඳවින් සඳහා ද බලපත්‍ර ලබාදී නිදහස ලබාදීමට ද කටයුතු කරන බව අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, හඳුනා ගන්නා එම රැඳවියන් පිළිබඳ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ද විමසීම් කර ඉදිරි කටයුතු සිදු කරන බවයි. එහෙත් නිදහස ලබා දී තිබියදී යළි වැරදි සිදුකළහොත්, අදාළ රැඳවියාට හිමව තිබු සිරදඬුවම යළි ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.