ජනපති ඝාතන කුමන්ත්‍රණය:ඉන්දීය ජාතිකයාගෙන් ප්‍රකාශ

ජනපති ඝාතන කුමන්ත්‍රණයට සැක ඉන්දීය ජාතිකයාගෙන් අධිකරණයට පිටු 20ක ලිඛිත ප්‍රකාශයක්

by Staff writer 23-10-2018 | 7:11 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයට අදාළව අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හිරිහැර සිදු වන බව පවසමින් අද අධිකරණයට ලිඛිත ප්‍රකාශයක් ලබා දුන්නේ ය. අප වාර්තාකරු පැවසුවේ, අධිකරණයේ අවසරය මත පැය 3ක පමණ කාලයක් පිටු 20ක් පුරා ලියන ලද මෙම ප්‍රකාශය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට භාර දුන් බව ය. එම්. තෝමස් නමැති මෙම ඉන්දීය ජාතිකයා සිය ලිඛිත කරුණු දැක්වීම මහේස්ත්‍රාත්වරියට භාර දීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවට කැඳවා තිබේ. මහේස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ, සැකකරු රැගෙන යාමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ය. මෙහිදී තමා නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර නොදෙන ලෙසට මෙම ඉන්දීය ජාතිකයා හඬමින් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා තිබේ. නමුත් නීතියේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට සිදු වන බව දැනුම් දුන් අධිකරණය ඉන්දීය ජාතිකයා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ ය. මේ අතර සැකකරුගේ සහෝදරයෙකු ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පවසා තිබුණේ, තම සහෝදරයා යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් නොමැති බව ය. ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව තොරතුරු අනාවරණය කළ දූෂණ විරෝධී බලකාය නමැති සංවිධානයේ නාමල් කුමාර මහතාගේ ජංගම දුරකතනයේ ඇතැම් හඬ පට මකා දමා ඇති නිසා එය හොංකොං යවා පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත්වරිය අද අවසර දුන්නා ය. නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, CD තැටි 124 කින් 123 කම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ නාමල් කුමාර මහත්වරුන්ගේ කටහඬ ඇතුළත් බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බව ය. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා නිල ලැප්ටොප් පරිගණකය භාවිත කරමින් සකස් කළ ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා සිදු කළ ප්‍රචාර පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කළේ ය. මහේස්‍ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ, අදාළ ලැප්ටොප් පරිගණකය රස පරීක්ෂකවරයාට යවා පරීක්ෂා කරන ලෙස ය. මේ අතර නාලක ද සිල්වා මහතාගෙන් අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළේ ය. ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් නාලක සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නේ කිසියම බලපෑමක් හේතුවෙන් යැයි නාමල් කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය. නාමල් කුමාර නමැත්තා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කර එම රාජකාරියෙන් නීත්‍යානුකූලව ඉවත් නොවී, ඔහු යුද හමුදාවට ද බැඳී කලක් එහි සේවය කර ඉන් අනතුරුව ඇවන්ගාර්ඩ් ආරක්ෂක සේවයේ ද රාජකාරී කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. නිලධාරීන් ඉල්ලා සිටියේ, මොහු මෙම ඝාතන කුමන්ත්‍රණයේ අපරාධ සහයකයෙකු ද යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අවසර දෙන ලෙස ය. එවැනි ප්‍රකාශයක් ලබා දිය හැක්කේ, අදාළ පුද්ගලයා අධිකරණය හමුවේ පෙනී සිට ඉල්ලීමක් කළ හොත් පමණක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය නාමල් කුමාර මහතා හෝ ඔහුගේ නීතිඥවරයා එවැනි ඉල්ලීමක් නොකළ නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ය.