ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 23-10-2018 | 6:19 AM

දේශීය පුවත්

1. විනිසුරු ඉලංචේලියන්ගෙන් තව ත් තීරණාත්මක නඩු තීන්දුවක්: ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ගණකාධිකාරිවරයාට ත්‍රිකුණාමලය මහාධිකරණය වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. ඒ, මෙම නඩුව මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි. 2. උතුරු – නැගෙනහිර ඉඩම්වල අයිතිය මුල් හිමිකරුවන්ට ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්: උතුරු – නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් දෙසැම්බර් 31 වන දාට පෙර මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට ද ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබේ. 3. නැගෙනහිර බහලුම් පර්යන්තයට සිදු වන්නේ කුමක් ද?: කොළඹ වරාය නැගෙනහිර බහලුම් පර්යන්තය පිළිබඳව මේ වනවිට විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත. වරාය සේවක වෘත්තිය සමිති කියා සිටියේ, මෙම පර්යන්තය විදේශයකට පැවරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවයි. 4. අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාව අවසන්: අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භකර තිබූ විරෝධතාව ඊයේ දහවල් අවසන් විය. ඒ, රැඳවියන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවති සාකච්ජාවකින් අනතුරුවයි. 5. ලේඛන නැතිව E-COMMERCE හරහා විදෙස් පාරිභෝගියන් භාණ්ඩ යැවීමට අවස්ථාවක්:ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට E-COMMERCE හරහා භාණ්ඩ යැවීමට මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමි ව තිබේ. ඒ අනුව එක් ගනුදෙනුවක උපරිමය අමෙරිකානු ඩොලර්. 3000 ක් වටිනා භාණ්ඩ, අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව යැවීම සඳහා මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

විදෙස් පුවත්

6. ඛෂෝගි ඝාතනය ගැන සෞදිය දැන් කියන කතාව: පසුගිය සතියේ තුර්කි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු අතුරුදන් වූ සෞදි මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසූ සෞදි අරාබිය තුර්කි කොන්සල් කාර්යාලයේදී ජමාල් ඛෂෝගි ඝාතනයට ලක් වූ බව පිළිගෙන තිබේ. සෞදි අරාබිය පවසන්නේ, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය තමන් අතින් සිදුවූ බරපතළ අත්වැරදීමක් බවයි.

ක්‍රීඩා පුවත්

7. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා CID අත්අඩංගුවට: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළව රූපවාහිනි විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.