මලික් සමරවික්‍රම ඇතුළු 50කට නොතීසි

ආයෝජන වංචා ගැන පෙත්සමකට අදාළව කරුණු දක්වන්නැයි මලික් ඇතුළු 50 දෙනෙකුට නොතීසි

by Staff writer 23-10-2018 | 7:18 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, ව්‍යපාරික නන්දන ලොකුවිතාන, නීතිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු 52 දෙනෙකුට ලබන දෙසැම්බර් 07 වන දා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කර තිබේ. ඒ, ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලයේ ව්‍යාපෘති නිසි ප්‍රමිතියකට සිදු නොවන බවට බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදී ය. බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේ විසින් පසුගිය ඔක්තෝබර් 17 වන දා අභියාචානධිකරණය හමුවේ ගොනු කළ අදාළ පෙත්සමේ සඳහන් වන්නේ, ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිය හරහා රටට විශාල වශයෙන් බදු මුදල් අහිමි වන බව ය. හොරණ ඉදිකෙරෙන ටයර් කම්හල් ව්‍යාපෘතිය ඊට උදාහරණය ලෙස පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ. එම ව්‍යාපෘතියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේදී අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ව්‍යාපෘති වටිනාකම ඩොලර් මිලියන 75ක් ලෙස පෙන්වා දී ඇති බවත්, පසුව කැබිනට් මණ්ඩලය වාර්තා කිරීමකින් තොරව එම වටිනාකම ඩොලර් මිලියන 250ක් ලෙස නැවත සං‍ශෝධනය කර ඇති බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ. එම ඩොලර් මිලියන 250න් මිලියන 225ක් ඉදිරිපත් කර ඇත්තේ වත්කම් ලෙස ය. ඒ හරහා නන්දන ලොකුවිතාන මහතා හිමිකාරිත්වය දරණ රිජිඩ් ටයර් කෝපරේෂන් ආයතනයට ඩොලර් මිලියන 567ක ආදායම් බදු සහනයක් ලැබෙන බව පෙත්සමින් පෙන්වා දෙයි. එය රුපියල්වලින් ගණනය කළ හොත් රුපියල් බිලියන 87කි. අදාළ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ සලකා බැලූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු කැබිනට් මණ්ඩලය, අයෝජන මණ්ඩලයේ සභාපති, නීතිපතිවරයා ඇතුළු 52 දෙනෙකුට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.