ඛෂෝගි ඝාතනය ගැන සෞදිය දැන් කියන කතාව

ඛෂෝගි ඝාතනය ගැන සෞදිය දැන් කියන කතාව

by Sagarika Chathumali 22-10-2018 | 11:18 AM
News 1st : පසුගිය සතියේ තුර්කි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු අතුරුදන් වූ සෞදි මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසූ සෞදි අරාබිය තුර්කි කොන්සල් කාර්යාලයේදී ජමාල් ඛෂෝගි ඝාතනයට ලක් වූ බව පිළිගෙන තිබේ. සෞදි අරාබිය පවසන්නේ, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය තමන් අතින් සිදුවූ බරපතළ අත්වැරදීමක් බවයි. කෙසේවෙතත් ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු කිසිවක් නොදැන සිටි බව සෞදි විදේශ අමාත්‍ය ඇඩෙල් අල් ජූබියර් අවධාරණය කර සිටී. විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ජමාල් ඛෂෝගී ඝාතනය, පුද්ගලයන් පිරිසක් බලධාරීන් සහ තමන් සතු වගකීම් ඉක්මවා ගොස් කළ ක්‍රියාවක් බවත් ඛෂෝගි ඝාතනය වූ අයුරු හෝ ඔහුගේ සිරුර ඇති ස්ථානයක් පිළිබඳ නොදන්නා බවත් ය. සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහා පසුගිය 2 වනදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු ඛෂෝගි අතුරුදන් වූ අතර එහිදී තුර්කිය තරයේ කියා සිටියේ කොන්ස්ල් කාර්යාලය තුළදී ඔහු ඝාතනය කර ඇති බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ ඝාතන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් සෞදිය පැවසුවේ, කොන්සල් කාර්යාලයට පැමිණි ඛෂෝගි ඉන් පිටව ගොස් ඇති බව ත් ඔහු සම්බන්ධයෙන් සිය රට කිසිවක් නොදන්නා බව ත් ය. කෙසේ වෙතත් තුර්කිය දිගින් දිගට ම සෞදි රජයට චෝදනා එල්ල කළ අතර බ්‍රිතාන්‍ය ප්‍රමුඛ ලොව අනෙකුත් රටවල් කෂෝගිට සිදු වූයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් සපයන ලෙස සෞදි රජයට බලපෑම් කළේ ය. මීට දින කිහිපයකට පෙර තම බලධාරීන් අතින් ඔහු මියගිය බව සෞදි රජය පිළිගත්තේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි බලපෑම් එල්ලවන පසුබිමකදීයි . කොන්සල් කාර්යාලය තුළදී ඔහු හමුවූ පුද්ගලයින් පිරිසක් සමග ඇතිවූ ගැටුමකින් මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගොස් ඇති බව පැවසූ සෞදිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඊට අදාළව සෞදි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනමට ලක් කර ඇති බව ත් සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ය.

ජාත්‍යන්තරයෙන් සෞදියට එල්ල වූ බලපෑම...

කෙසේ වෙතත් ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් විශ්වසනීය සාක්ෂි ඉදිරිපත්කිරීමට සෞදි අරාබිය අපොහොසත්වීම, ලෝක ප්‍රජාව සහ සෞදි අරාබිය අතර පැවති සබඳතා පළුදු වීමට හේතු වූ අතර මේ වන විට කෂෝගි ඝාතනය කළ බව පිළිගැනීමත් සමග සෞදිය ලෝක ප්‍රජාවගේ දැඩි දෝශ දර්ශනයට ලක්වෙමින් පවතී. අමෙරිකාව සඳහන් කළේ, වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ඛෂෝගී ගැටුමකදී ඝාතනය කෙරුණු බව සෞදි ආබිය පිලිගැනීම ප්‍රමාණවත් හේතුදැක්වීමක් නොවන බවයි. ජර්මනිය ,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය  ,මෙම ඝාතනය පිළිබඳ විශ්වාසනීය තොරතුරු සපයන ලෙසට සෞදි අරාබියට බලකර සිටියේ ය. ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් සඳහන් කළේ, ජමාල් ඛෂෝගි ට අත්වූ ඉරණම පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය හමුවේ සෞදි අරාබියට ආයුධ අලෙවි කිරීමෙන් වළකින බවයි .

තුර්කියේ ප්‍රතිචාරය....

මේ අතර තුර්කි බලධාරීන් සැක පළ කරන්නේ, සෞදි අරාබි කාර්යාලය තුළදී ජමාල් ඛෂෝගි ඝාතනය කර සෞදි අරාබි නියෝජිතයන් ඔහුගේ සිරුර කොටස්වලට වෙන්කර ඇති බවටයි . ඒ බව තහවුරු කරන හඬපටයක් තමන් සතු බව ද තුර්කිය සඳහන් කළේ ය. මේ අතර ජමාල් ඛශෝගිගේ තුර්කි ජාතික පෙම්වතියට දවසේ පැය 24 ම පොලිස් ආරක්ෂාව ලබාදීමට තුර්කිය පියවර ගෙන ඇති අතර ඊට හේතුව ඔවුන් මෙතෙක් හෙළිකර නොමැත. මේ අතර ජමාල් ඛෂෝගි ගේ පුතු වන සාලා අමතමින් සෞදි අරාබි රජු සහ ඔටුන්න හිමි කුමරු ඛශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කර තිබේ.

කවුද මේ ජමාල් ..?

59 හැවිරිදි ජමාල් ඛෂෝගි වොෂින්ටන් පුවත්පතේ විචාරාත්මක මාධ්‍යවේදියෙකු වන අතර ඔහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සම්බන්ධයෙන් විවේචනාත්මකව පුවත් පළ කළ මාධ්‍යවේදියෙකු මෙන් ම මානව හිමිකම් මෙන් ම කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු ද වේ. වසර කිහිපයක් සෞදියේ මාධ්‍ය ආයතන කිහිපයක සේවය කර ඇති ඔහු සෞදි රජ පවුල හා සමීපව කටයුතු කළ අයෙකි. තව ද ඔහු සෞදියේ ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කර ඇත. පසු කාලීනව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සෞදියේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහුගේ පුවත්පත් තීරු ලිපිය ද අවලංගු කර තිබේ. ට්විටර් ගිණුමේ අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ද ඔහුට අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත. මෙකී වටපිටාව හමුවේ ජමාල් ඛෂෝගි සි මව්බිම අතහැර අමෙරිකාවට පිටත්ව ගොස් එහිදී වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කිරීම අරඹා ඇත. පෙර පුවත් සඳහා පිවිසෙන්න....

*මාධ්‍යවේදී ජමාල් මියගොස් ඇති බව ට්‍රම්ප් පිළිගනී..?

*බ්‍රිතාන්‍යයෙන් සෞදි අරාබියට අනතුරු ඇඟවීමක්…!

*තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ…?