නැගෙනහිර බහලුම් පර්යන්තයට සිදු වන්නේ කුමක් ද?

by Staff writer 22-10-2018 | 9:14 PM

COLOMBO (News 1st) - කොළඹ වරාය නැගෙනහිර බහලුම් පර්යන්තය පිළිබඳව මේ වනවිට විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

අද වරාය සේවක වෘත්තිය සමිති කියා සිටියේ, මෙම පර්යන්තය විදේශයකට පැවරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවයි. කොළඹ වරාය, බහලුම් පර්යන්ත 3 කින් සමන්විතවේ. ජයබහලුම් පර්යන්තය රජය සතුවන අතර සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය පෞද්ගලික අංශයත්, CICT පර්යන්තය රාජ්‍ය, පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙසත් ක්‍රියාත්මක වේ. කොළඹ දකුණ වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ චීන, ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස CICT පර්යන්තය ඉදිකළ අතර එම පර්යන්තය දෙපස නැගෙනහිර හා බටහිර පර්යන්ත සඳහා වෙන්කර ඇත. නැගෙනහිර පර්යන්තයේ දැනටමත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රාජ්‍ය බැංකුවකින් ලබාගත් ඩොලර් මිලියන 80 ක මුදලක් වැය කර මීටර 440 ක ජැටිය ඇතුලු බොහෝ කොටස් ඉදිකර අවසන් ය. බටහිර පර්යන්තය සඳහා තවමත් සිදුකර ඇත්තේ ඉඩ වෙන්කිරීම පමණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට දින කිහිපයක් තිබියදී ද හින්දු පුවත්පත වාර්තා කළේ, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර කැබිනට් රැස්වීමේදී උණුසුම් සංවාදයක් ඇති වූ බවයි. ඉන්දියාව මෙම බහලුම් පර්යන්තයේ කුමන හෝ සංවර්ධන කාර්යයක් ක්‍රියාත්මක කිරීමට සම්බන්ධවීම පිළිබඳව ජනාධිපතිතුමා විරුද්ධ වූ බව හින්දු වාර්තාවේ සඳහන් විය. නමුත් මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සමග සිදු කරන බවට නවදිල්ලියට පොරොන්දුවී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණි. හින්දු පුවත්පතේ සඳහන් වන අගමැතිවරයා පැවසූ පොරොන්දුව කුමක් ද යන්න ගැටලුවකි. පසුගිය සති අන්තයේ අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය අවසානයේ අගමැති කාර්යාලය හා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, 2017 අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුකූලව හවුල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය ගැන ඉන්දීය අගමැතිවරයා කනස්සල්ලට පත් ව සිටින බවයි. නමුත් 2017 අප්‍රේල් 26 වන දා අත්සන් කළ මේ ගිවිසුමේ කිසිදු ස්ථානයක කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයක් ගැන සඳහන් වන්නේ නැත. ගිවිසුමේ 9 වන වගන්තියේ දැක්වෙන්නේ ඉන්දියාවේ ප්‍රතිනැව්ගත කිරීම් බහුතරය කොළඹ වරාය හරහා සිදුවන බැවින් ඉන්දීය ආයෝජන ඇතුළත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරායේ බහලුම් පර්යන්තයක් ඉදිකළ යුතු බවයි. නැගෙනහිර පර්යන්තය මේ සඳහා යොදා ගන්නා බවට නිශ්චිත සඳහන් මේ ගිවිසුමේ දක්නට නැත. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර මෙරට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලබාගත් ආකාරය ද ප්‍රශ්නගත යි. ගිවිසුම අත්සන් කිරීමට පෙර දිනයේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් එය අත්සන් කිරීමට අනුමැතිය ලබාගෙන තිබුණි. නමුත් කැබිනට් මණ්ඩලය එම අනුමැතිය ලබාදී තිබුනේ අවබෝධතා ගිවිසුමේ සඳහන් ව්‍යාපෘති සම්බන්ධයෙන් නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට පෙර විෂයයට අදාළ අමාත්‍යාංශ වෙන වෙනම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා පදනම මතයි. ඉන්දීය සංචාරයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ පැහැදිලි කිරීමේදී ද මේ බව අවධාරණය කළේ ය. දැන් වරාය විෂයය භාර අමාත්‍යවරයා ජනාධිපතිතුමා ප්‍රධානත්වය දරන ජාතික ආර්ථික සභාවේ ද අනුමැතිය මත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. එහි ඉතා පැහැදිලිව සඳහන් වන්නේ නැගෙනහිර පර්යන්තය කලාපයේ ඇති ගැඹුරුතම වරායක් බැවින් මහා පරිමාණ බහලුම් නැව් මෙහෙයුම් පුලුල් කිරීම සඳහා එය අත්‍යවශ්‍ය බැවින් වරාය අධිකාරිය මුදල ආයෝජනය කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි. ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා නේපාලයේදී ඉන්දීය අගමැතිවරයා හමු වූ අවස්ථාවේදී ද මේ බව දැනුම්දී තිබේ. ජනාධිපතිතුමා එහිදී පවසා ඇත්තේ, බටහිර පර්යන්තය සම්බන්ධ ව්‍යාපෘතියකට ඉන්දියාව සම්බන්ධවීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි. එසේනම් ද හින්දු පුවත්පත වාර්ත කර තිබූ පරිදි අගමැතිවරයා නවදිල්ලියට නැගෙනහිර පර්යන්තය පිළිබඳව එකඟවී ඇත්තේ කුමක් ද? එම එකඟතාව සඳහන්ව ඇත්තේ කුමන ලියවිල්ලක ද? ආණ්ඩුව එකඟනොවූ කිසිදු ලියවිල්ලක සඳහන් නොවූ කරුණක් ඉටු කිරීමට මෙතරම් උනන්දු වන්නේ ඇයි ?