අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාව අවසන්

by Staff writer 22-10-2018 | 9:18 PM

COLOMBO (News 1st) - අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භකර තිබූ විරෝධතාව අද දහවල් අවසන් විය.

ඒ, රැඳවියන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවති සාකච්ජාවකින් අනතුරුවයි. පොලිස් විශේෂ කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී ඊයේ උදෑසන සිට අද දහවල් දක්වා විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරීන් 45 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ යොමු කළ අතර අද උදෑසන විරෝධතාකරුවන් සහ නිලධාරීන් අතර සාකච්ඡා පැවැත් විණි. මේ අතර රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, වැලිකඩ බන්ධනාගරය නව මැගසින් බන්ධනාගරය හා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය යන බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ඉදිරියේදී යෙදවීමට කටයුතු යොදා තිබේ.