ජමාල් ඝාතනය ගැන යුරෝපා සංගමය පරීක්ෂණයක් ඉල්ලයි

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි

by Staff writer 21-10-2018 | 8:30 AM

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ෆෙඩ්රිකා මොගෙරිනී බෙල්ජියමේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, සිද්ධිය පිළිබඳ තමුන් දැඩි කනස්සල්ලට පත් ව ඇති බවය. මෙය 1963 - කොන්සියුලර් සබඳතා පිළිබඳ වියානා සම්මුතිය උල්ලංඝණය කිරීමක් බව ද ඇය සඳහන් කළා ය. මේ හේතුවෙන් ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය විශ්වාසනීය මෙන්ම විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද ඇය පවසයි. මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බව තුර්කිය ඊයේ ප්‍රකාශ කර තිබේ. තුර්කි පාලක පක්ෂයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ, එහි සත්‍ය තොරතුරු වසන් කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන බවයි. කොන්සල් කාර්යාලය තුළදී ඔහු හිතාමතාම ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර කැබලි කර ඇතැයි තුර්කිය මීට පෙර ද ප්‍රකාශ කළේ ය. තුර්කියේ ඉස්තාන්බුල් නුවර කොන්සල් කාර්යාලයේදී සිදු වූ ගැටුමකින් මාධ්‍යවේදී ජමාල් කෂෝගී මිය ගිය බව සෞදිය ඊයේ පිළිගෙන තිබේ.