පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3560ක් අත්අඩංගුවට

විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3560ක් අත්අඩංගුවට

by Staff writer 21-10-2018 | 6:29 PM
COLOMBO (News 1st) : දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1124 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියෝග මත අද අලුයම 3 සිට 7 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. මෙහිදී බීමත් රියැදුරන් 468 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 920 කු, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 992 දෙනෙකු , වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් 53 දෙනෙකු සහ ජීව අත්බෝම්බයක් සහ ගිනිඅවි 2ක් සමග සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 6020 එරෙහිව නඩු පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. 2018 වසරේදී පොලිස්පතිවරයාගේ නියෝග මත මෙවැනි වැටලීම් 13ක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව 12099කි. එම මෙහෙයුම්වලදී සැකකරුවන් 36255 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, අදාළ මෙහෙයුම්වලදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 64143 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි.