අමෙරිකාව රුසියානු න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වෙයි?

ජනපති ට්‍රම්ප් රුසියානු න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමට සැරසෙයි

by Sagarika Chathumali 21-10-2018 | 6:01 PM
News 1st : රුසියාව සමග ක්‍රියාත්මක එළඹ සිටින න්‍යෂ්ටික අවි ගිවිසුමෙන් සිය රට ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ, 1987 වසරේ එළැඹි මධ්‍ය පරිමාණ න්‍යෂ්ටික බලගැන්වීමේ ගිවිසුම රුසියාව කිහිප වරක් උල්ලංඝණය කර ඇති බවයි. අදාළ ගිවිසුම අනුව කිලෝමීටර් 500 - 5,500 පරාසයේ මධ්‍ය පරිමාණ මිසයිල අත්හදා බැලීම තහනම් වී තිබිණ. අමෙරිකානු ජනාධිපතිවරයා නවාඩා ප්‍රාන්තයේ පැවති රැළියක් අතර තුර පවසා ඇත්තේ, රුසියාව වසර කිහිපයක සිට අදාළ න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝණය කරමින් සිටින බවයි. අමෙරිකාව අවධාරණය කරන්නේ ගිවිසුම උල්ලංඝණය කරමින් රුසියාව මධ්‍ය පරිමාණයේ Novator 9M729 හැදින්වෙන මිසයිලයක් දියුණු කර ඇති බවයි. එය භාවිත කරමින් ඉතා සුළු දැනුම්දීමකින් රුසියාවට නේටෝ සංවිධානයේ රටකට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව පවතී. මේ අතර හිටපු ජනාධිපති බැරක් ඔබාමා, රුසියාව මෙම න්‍යෂ්ටික සම්මුතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොකිරීමට හෝ ඉන් ඉවත් වීමටට ක්‍රියා නොකළේ මන්දැයි, තමා නොදන්නා බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. කෙසේ වෙතත් 2014 වසරේදී අදාළ න්‍යෂ්ටික සම්මුතිය උල්ලංඝණය කරමින් රුසියාව මිසයිලයක් අත්හදා බැලූ බවට බැරක් ඔබාමා ද රුසියාවට චෝදනා කළේ ය. එහෙත්  ඔබාමා එම අවස්ථාවේදී ගිවිසුමෙන් ඉවත් වීමට ක්‍රියා නොකළේ, එසේ ගිවිසුමෙන් ඉවත් වුවහොත් ඉන් යළිත් වරක් අවි තරගයක් ඇති වීමට ඉඩ ඇති බවට යුරෝපා සංගමයේ නායකයින් කළ බලපෑම් හමුවේයි. 1987දී  අමෙරිකාව හා සෝවියට් සංගමය විසින් අත්සන් කරන ලද අවිආයුධ පාලනය කිරීමේ ගිවිසුමට අනුව න්‍යෂ්ටික හා න්‍යෂ්ටික නොවන කෙටි හා මධ්‍ය පරිමාණයේ මිසයිල අත්හදා බැලීම තහනම් කෙරිණ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා සම්මුතියෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණයත් සමග සම්මුතිය තුළින් න්‍යෂ්ටික අවි පාලනය සඳහා පැවති සුවිශේෂි පසුබිම ඉවත්ව යනු ඇති.