ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 21-10-2018 | 6:42 AM

දේශීය පුවත්

1. ලාංකික සිසුවාට ත්‍රස්ත චෝදනා එල්ල කිරීම පිටුපස සිටින්නේ කවුද? – ඔස්ට්‍රේලියානු පොලීසිය පරීක්ෂණ අරඹයි: සිඩ්නි ත්‍රස්ත කල්ලියට සම්බන්ධ යැයි සැක කරමින් අත්අඩංගුවට ගෙන මුදාහැරි 25 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවාට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ සොහොයුරා සම්බන්ධ විය හැකි බවට සැක පළ කරයි. 2. වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට: වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 3. කටාර්හි ශ්‍රී ලංකා පාසල ඩැහැ ගැනීමට මාන බලන්නේ කවුද?: කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් වෙනුවෙන් පිහිටි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අනිසි බලපෑම්වලට නතුව ඇති බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති. එහි ආසන්නතම සිදුවීම වන්නේ, එම විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරියන් දෙදෙනෙකු සහ පුස්තකාලාධිපතිනිය තානාපතිවරයාගේ නියෝගය මත සේවයෙන් නෙරපා හැරීම ය. 4. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ශාසන මාමක ජනප්‍රසාදන ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි: අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ශාසන මාමක ජනප්‍රසාදන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඒ, අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථාගාරයේදී ය. 5. මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග ඉල්ලා අස්වෙයි: මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් පතිරණගේ මහතා පැවසුවේ, ජෙහාන් අමරතුංග මහතා පෙරේදා සිය ලිපිය භාර දුන් බව ය. 6. මාළිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි: මාළිගාවත්ත ජුම්මා මස්ජීන් පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව ය.

විදෙස් පුවත්

7. මාධ්‍යවේදී ජමාල් කෂෝගි කොන්සල් කාර්යලය තුළ වූ ගැටුමකදී මියගිය බව සෞදිය පිළිගනි: තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සියුලර් කාර්යාලයේදී ඇතිවූ ගැටුමක් අතර තුර සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගොස් ඇති බව සෞදි අරාබිය පිළිගෙන තිබේ.

ක්‍රීඩා පුවත්

8. ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 18ක ජයක්: ශ්‍රී ලංකාව සමග පැවති සිව් වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ය. ඒ, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 18 කිනි.