බන්ධිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට අවසර

ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා බන්ධිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට අවසර

by Staff writer 21-10-2018 | 12:07 PM

COLOMBO (News 1st) - ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා බන්ධිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ඊට අදාළ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයට විෂයභාර අමාත්‍ය මංගල සමරවීර මහතා අත්සන් කළ බවයි. ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක නව රෙගුලාසි අනුව අපනයන කටයුතු මෙන්ම ප්‍රතිඅපනයනය ද බන්ධිත ගුදම හරහා ක්‍රියාත්මක කළ හැකි වේ. ජාත්‍යන්තර වරාය හා ගුවන්තොටුපොළ සිට සාධාරණ දුර ප්‍රමාණයක් තුළ මෙන්ම භාණ්ඩ නිෂ්කාශනය කරන්නන්ට පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක මෙම ගුදම පිහිටුවීමට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ රේගු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබාගත හැකිය. මේ සඳහා අය කෙරෙන වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 5 කි. මේ අතර මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන, කිරි කර්මාන්තය හා කසළ කළමනාකරණය සඳහා වන අයෝජනවලට අවශ්‍ය ආනයනික ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවෙන් ද බන්ධිත ගුදම් පවත්වාගෙන යාමට අවසර හිමි ව තිබේ. එම ප්‍රාග්ධන භාණ්ඩ, බදුවලින් නිදහස් කර ඇතැයි ද මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ ය.