ශ්‍රී ලංකා - එංගලන්ත එක් දින තරගය අද පල්ලේකැලේදී

ශ්‍රී ලංකා - එංගලන්ත සිව්වැනි එක් දින ක්‍රිකට් තරගය අද පල්ලේකැලේදී

by Staff writer 20-10-2018 | 8:07 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ.

දිවා තරගයක් වන මෙය අද උදෑසන 9.45ට ආරම්භවීමට නියමිතය. තරගයට යහපත් ආරම්භයක් ලබා දෙමින් මැද පෙළ ශක්තිමත්ව පවත්වා ගැනීමට තම පිතිකරුවන් උත්සාහ කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සදීර සමරවික්‍රම ප්‍රකාශ කළේ ය. මේ අතර පුහුණුවීම් අතරතුර එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොනී බෙයාස්ටෝව් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවට එංගලන්ත කණ්ඩායමෙන් ලැබෙන වාර්තාවල සඳහන් වේ. බෙයාස්ටෝව් අද තරගයට සහභාගී නොවුනහොත්, ඇලෙක්ස් හේල්ස්ට කණ්ඩායමට පිවිසීමේ වැඩි අවස්ථාවක් පවතිනු ඇති. මේ අතර සිය විවාහය හේතුවෙන් මුල් තරගවලට සහභාගී නොවූ එංගලන්තයේ ලියම් ප්ලන්කට් නැවතත් කණ්ඩායම සමග එක් ව සිටිනු ඇත. ශ්‍රී ලංකාවට අද තරගය සහ අවසන් තරගය ජය ගැනීම අතිශය වැදගත් වන්නේ එංගලන්තය මේවන විටද තරග 2ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටීම හේතුවෙන්ය. තරගාවලිය සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ අද සජීව ලෙස විකාශය කෙරේ.