මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගිය බව සෞදිය පිළිගනි !

මාධ්‍යවේදී ජමාල් කෂෝගි කොන්සල් කාර්යලය තුළ වූ ගැටුමකදී මියගිය බව සෞදිය පිළිගනි

by Staff writer 20-10-2018 | 7:44 AM

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සියුලර් කාර්යාලයේදී ඇතිවූ ගැටුමක් අතර තුර සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගොස් ඇති බව සෞදි අරාබිය පිළිගෙන තිබේ.

කොන්සල් කාර්යාලය තුළදී ඔහු හමුවූ පුද්ගලයින් පිරිසක් සමග ඇතිවූ ගැටුමකින් මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගොස් ඇති බව එරට මාධ්‍ය අනාවරණය කළේ ය. මෙම සිදුවීම මුල් කරගනිමින් සෞදි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනමට ලක් කර තිබේ. ඒ අතරට සෞදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිකරණ උපදේශකයෙකු වන සවුත් අලි කටානි හා නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියෙකු වන අහමඩ් අල් අසීර් අයත් ය. මීට අමතරව සෞදි විමර්ශකයින් විසින් සෞදි ජාතිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ සෞදි අරාබිය එම චෝදනා ප්‍රථමවරට පිළිගැනීම විශේෂත්වයකි. සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරුගේ ප්‍රබල විවේචකයකු ලෙස සැකනෙක මාධ්‍යවේදී ජමාල් කෂෝගි මීට සති දෙකකට පෙර තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යයාලයට ඇතුළුවීමෙන් අනතුරුව අතුරුදන් වූ බවට වාර්තා පළ විය. මේ අතර මෙම සිදුවීම පිළිබඳව අදහස් පළ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් කියා සිටියේ, සෞදිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමර්ග කොංග්‍රස් මණ්ඩලය විසින් තීරණය කරනු ඇති බවයි.