ක්‍රිකට් පාලක මණ්ඩලට අයත් රුපියල් කෝටි 6කට අධික මුදලක් නිලවරණය අභියස ක්‍රීඩා සමාජ හා පුද්ගලයින් අතරේ බෙදා දුන්නේ ඡන්දය අපේක්ෂාවෙන් ද?

by Staff writer 20-10-2018 | 8:14 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව පසුගිය කාලය පුරා විවිධ ගැටලු මතු විය. ඊට ආසන්නතම සිදුවීම වූයේ, එංගලන්ත තරග සංචාරය සඳහා විදෙස් රුපවාහිනී ආයතනයක් විසින් මෙරට ක්‍රිකට් ආයතනයට යොමු කළ අමෙරිකානු ඩොලර් මිලියන 5.5කට ආසන්න මුදලක් විදෙස් රටක පිහිටි පෞද්ගලික් ගිණුමකට බැර කිරීමට ගත් උත්සහයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තම ක්‍රීඩා සමාජවල අභිවෘධිය උදෙසා මූල්‍ය ප්‍රතිපාදන නිරන්තරව යොමු කරන අතර පසුගිය මැයි මස 2 වන දා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේදී රුපියල් මිලියන 64කට ආසන්න මුදලක් ක්‍රීඩා සමාජ කිහිපයක් අතර බෙදා දීමට අවසර හිමි විය. මෙම මුදල් බෙදා දීමට අවසර හිමිව ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලයේ ධූර කාලය අවසන් වී දින 2ක් ගත වීමෙන් අනතුරුව ය. ඊට දින කිහිපයකට පසු එනම් මැයි 19 වන දා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට දින වකවානු තීරණය වී තිබූ පසුබිමක නිලවරණයේ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ ගණනාවක් අතරේ විවිධ හේතු දක්වමින් මෙලෙස මුදල් බෙදා දීම බරපතළ සැකයක් ඇති කරයි. නමුත් මේ දක්වා නිලවරණය පැවැත්වීමට හැකි වී නොමැත. ගැටලුව වී ඇත්තේ, මෙම මුදල් ක්‍රීඩා සමාජවලට බෙදා දීම නොව ඒවා බෙදා දී ඇති ආකාරය සම්බන්ධව ය. මෙම ලේඛනයේ දැක්වෙන පරිදි ක්‍රිඩා සමාජ 12කට රුපියල් මිලියනයේ සිට මිලියන 10කට අධික මුදලක් බෙදා දී තිබේ. ඇතැම් ප්‍රතිපාදන ක්‍රීඩා සමාජයේ නමට යොමු කර ඇති අතර ඇතැම් ගෙවීම් ක්‍රීඩා සමාජයේ නමට අමතරව පුද්ගල නාම ද සටහන් කරමින් යොමු කර තිබෙනු දැකිය හැකි ය. එමෙන් ම මධ්‍යම පළාත් ක්‍රිකට් සමාජයට රුපියල් ලක්ෂ 3ක මුදලක් වෙසක් උත්සවය නිමිත්තෙන් පරිත්‍යාගයක් ලෙස යොමු කර තිබීම ද විමතිය දනවන්නකි. මෙම සියලු ක්‍රීඩා සමාජ මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ වන අතර එම ක්‍රීඩා සමාජ සඳහා වෙන වෙනම බැංකු ගිණුම් පවතිද්දී ඇතැම් ක්‍රීඩා සමාජවල නම්වලට අමතරව පුද්ගල නම් සඳහන් කර ඇත්තේ කුමක් නිසා ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු ය. තව ද මෙම මූල්‍යමය ප්‍රතිපාදන ලබා දුන් ක්‍රීඩා සමාජ හා පුද්ගලයින් සියලු දෙනා පසුගිය ක්‍රිකට් නිලවරණයේදී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට සහය දැක්වූවන් බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වංචා දූෂණ මැඩලීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ව්‍යවස්ථාව වෙනස් කළ යුතු වුවත් වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා යටතේ ද එය සිදු වීම සැක සහිත ය. රුපියල් බිලයන ගණනක වාර්ෂික අයවැයක් හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට දූෂිතම ආයතනයක් ලෙස වරෙක හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකු විසින් ද ප්‍රකාශ කළේ ය. එබැවින් වහාම විගණකාධිපතිවරයා කළ යුත්තේ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පූර්ණ විගණනයකට ලක් කිරීම ය. එවිට මීට නොදෙවෙනි වංචා හා දූෂණ පිළිබඳ තොරතුරු මෙන් ම ඇතැම් පිරිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම සදාකාලික දේපළක් සේ භුක්ති විඳීමට උත්සහ කරන්නෙ මන්ද යන කාරණා දෙකම රට හමුවේ හෙළිදරව් කරනු ඇති. විගණකාධිපතිතුමණී මේ ඔබේ අවධානය පිණිසයි...