කටාර්හි ශ්‍රී ලංකා පාසල ඩැහැ ගැනීමට මාන බලන්නේ කවුද?

by Staff writer 20-10-2018 | 7:46 PM
COLOMBO (News 1st) - කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් වෙනුවෙන් පිහිටි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අනිසි බලපෑම්වලට නතුව ඇති බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති. එහි ආසන්නතම සිදුවීම වන්නේ, එම විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරියන් දෙදෙනෙකු සහ පුස්තකාලාධිපතිනිය තානාපතිවරයාගේ නියෝගය මත සේවයෙන් නෙරපා හැරීම ය. කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 130000ක් පමණ වේ. එම ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් වෙනුවෙන් කටාර් රාජ්‍යයේ ඇති එකම ශ්‍රී ලාංකික පාසල වන්නේ දෝහාහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලයි. එම පාසල සහ මෙරට පිහිටි ස්ටෑෆර්ඩ් ජාත්‍යන්තර පාසල අතර කිසිදු සබඳතාවක් නොමැත. සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වූ මෙම විද්‍යාලයට කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාගෙන් දැඩි බලපෑම් එල්ල වන බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පෙන්වා දෙති. මෙවැනි තත්ත්වයක් තුළ එම පාසලේ එතෙක් සභාපතිව කටයුතු කළ එම විද්‍යාලයේ නිර්මාතෘ කුමුදු ෆොන්සේකා මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරමින් නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට මෙන්ම විදුහල්පතිවරයා ඉවත් කොට නව විදුහල්පතිවරයෙකු පත් කිරීමට කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කටයුතු කර ඇත්තේ රාජතාන්ත්‍රික නිලධාරියෙකුට උචිත අන්දමින් නම් නොවේ. ඉන් නොනැවතුණු තානාපතිවරයා එම විද්‍යාලයේ ගුරුවරියන් දෙදෙනෙකු මෙන්ම වසර 4ක පමණ කාලයක් එම විද්‍යාලයේ සේවය කළ පුස්තකාලාධිපතිනිය ද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. තානාපතිවරයාගෙන් දිගින් දිගටම එල්ල වන තාඩන පීඩන සම්බන්ධයෙන් කටාර් පොලීසියට පැමිණිලි කිරීමට මොවුන් පියවර ගෙන තිබූ අතර ඉකුත් ඔක්තෝබර් 14 වන දා ප්‍රශ්නගත ගුරුවරියන් දෙදෙනා සහ පුස්තකාලාධිපතිනිය පොලිස් අත්අඩංගුවට ගැනිණි. ඒ, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාගේ අනුදැනුම යටතේ ය. කෙසේ වෙතත් ඔවුන්ගෙන් දෙදෙනෙකු ඔක්තෝබර් 15 වන දා නිදහස් කර තිබූ අතර අනෙක් තැනැත්තිය ඔක්තෝබර් 16 වන දා නිදහස් කිරීමට කටාර් පොලීසිය පියවර ගෙන තිබිණි. මේ අතර ප්‍රශ්නගත ගුරුවරියන් දෙදෙනාට මෙන්ම කටාර්හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ පුස්තකාලාධිපතිනියට ඉකුත් 16 වන දා විද්‍යුත් තැපෑල ඔස්සේ දැනුම් දී තිබුණේ, ඔවුන්ගේ වාසය කිරීමේ බලපත්‍රය ද කටාර් රජය මගින් අවලංගු කර ඇති බව ය. මෙලෙස දිගින් දිගටම එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමසීමට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා සම්බන්ධ කර ගැනීමට අප අවස්ථා ගණනාවකදී කටයුතු කළත් ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීය. පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ කටාර්හි ස්ටෑෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ දරුවන්ගේ අනාගතය කෙබදු වේවි ද? මේ අතර පසුගියදා කටාර් රාජ්‍යයට ගිය මෙරට ප්‍රභූන් දෙදෙනෙකුගේ ගමන් මලු රැගෙන යාමට ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර් ගුවන්තොටුපොළට පැමිණීමෙන් කටාර්හි ශ්‍රී ලංකා තානාපතිවරයා ඉටු කළේ, පෝටර්වරයෙකුගේ රාජකාරිය යැයි මෙරට දේශපාලන වේදිකාවේදී ද වරින් වර අදහස් පළ විය.