ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 18ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 18ක ජයක්

by Staff writer 20-10-2018 | 5:28 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවති සිව් වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ය. ඒ, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 18කිනි. තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 3ක්ම ජය ගෙන ඇත්තේ එංගලන්තයයි. මෙම තරගය පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, නිරෝෂන් දික්වැල්ල සහ සදීර සමරවික්‍රම. දික්වැල්ල ලකුණු 52ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 33යි. දසුන් ශානක ලකුණු 66ක් රැස් කළේ ය. තිසර පෙරේරා ලකුණු 44 යි. අකිල ධනංජය නොදැවී ලකුණු 32ක් රැස් කළේ ය. මොයින් අලී පන්දුවාර 10කදී ලකුණු 55ට කඩුලු 2 යි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 273කි. ලකුණු 274ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඇලෙක්ස් හේල්ස් ලකුණු 12කට දැවී ගියේ ය. ජේසන් රෝයි ලකුණු 45යි. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 132ක් රැස් කර ගෙන සිටියදී වැසි ඇද හැළුණි.