වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 20-10-2018 | 9:43 PM
COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසුවේ, ඊයේ දිනයේ ද අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ ඒකක කළමනාකරුවෙකු වැලිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ඉතිහාසයේ අත්අඩංගුවට පත් ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියා වූයේ පසුගියාද අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී අයි.කේ. මහානාම මහතායි. එමෙන් ම වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණි හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති නාදන් මුත්තු විනයාගම් යන අය ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි ඉහළ තනතුරු දරණ පුද්ගලයින් අල්ලස් ලබා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් මේ වසර තුළ දක්නට ලැබිණි. එමෙන් ම වසරේ ගත වූ කාලය තුළ රජයේ ජ්‍යෙෂ්ඨ තක්සේරු කරුවන්, විදුලි ඉංජිනේරුවන්, රජයේ සැලසුම් ශිල්පීන්, පොලිස් පරීක්ෂකවරු, විදුහල්පතිවරුන් ඇතුළු විෂය ක්ෂේත්‍රයන් ගණනාවකට අයත් රාජ්‍ය නිලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.