නිසාම්ඩීන්ව ත්‍රස්ත චෝදනාවන්ට හසු කළේ කවුද?

ලාංකික සිසුවාට ත්‍රස්ත චෝදනා එල්ල කිරීම පිටුපස සිටින්නේ කවුද? - ඔස්ට්‍රේලියානු පොලීසිය පරීක්ෂණ අරඹයි

by Staff writer 20-10-2018 | 10:35 PM
(News 1st) - සිඩ්නි ත්‍රස්ත කල්ලියට සම්බන්ධ යැයි සැක කරමින් අත්අඩංගුවට ගෙන මුදාහැරි 25 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවාට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ සොහොයුරා සම්බන්ධ විය හැකි බවට සැක පළ කරයි. කීර්තිමත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන උස්මාන් කවාජාගේ සොහොයුරු අස්ලාන් කවාජා විසින් 25 හැවිරිදි ශ්‍රී ලාංකිය සිසුවාට වරද පැටවීම සඳහා කටයුතු කර ඇත්දැයි සොයා බැලීමට එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ත්‍රස්ත විමර්ශන කණ්ඩායමක් අස්ලාන් කවාජාගේ නිවස වටලා ඇති අතර සිද්ධියට සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට කටයුතු කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. වැටලීම සිදු කරන අවස්ථාවේ අස්ලාන් කවාජා නිවසේ රැඳී සිට නැතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව ගොනු කළ චෝදනා සහ නඩුව නිව් සවුත් වේල්ස් පොලීසිය ඊයේ ඉල්ලා අස්කර ගැනිණි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමෙන් නඩුව ඉල්ලා අස්කර ගෙන ඇති බව ය. මේ අතර මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි නඩුව පොලීසිය ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ නීතිඥයා පැවසුවේ, තම සේවාදායකයාට සිදු වූ අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ය. ඒ සඳහා වැය වූ නඩු ගාස්තු ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.