මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග ඉල්ලා අස්වෙයි

by Staff writer 20-10-2018 | 11:27 AM
COLOMBO (News 1st) - මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් පතිරණගේ මහතා පැවසුවේ, ජෙහාන් අමරතුංග මහතා පෙරේදා සිය ලිපිය භාර දුන් බව ය. නමුත් විශේෂය වන්නේ, පසුගිය අගෝස්තු මස 31 වන දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපියට දින යොදා තිබීම ය. එමෙන් ම මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වූ ක්‍රිෂ් රාජේන්ද්‍රන් මහතාගේ ධූර කාලය දීර්ඝ කර නොමැත. මේ වන විට මහජන බැංකුවේ සිටින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 6කි. මේ අතර ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරයා, තමා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වෙන්නැයි මෙතෙක් ලිඛිතව හෝ වාචිකව දන්වා නැතැයි ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා මහතා පවසයි. ඔහු පැවසුවේ, ඒ අනුව තමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු කර ගෙන යන බව ය. එවන් දැනුම් දීමක් ලැබුණහොත් ඉවත් වීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේ ය. ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා පැහැර හරිනවා ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වන වගන්තිය අනුව අමාත්‍යංශ ලේකම්වරයා පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතුයි. එසේ නම් විධායක ජනාධිපතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමේ බලය ලේකම්වරයාට නොමැති වන්නේ කෙසේ ද? හිටපු භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ඉවත් කර තිබියදීත් යළි එම ධූරයට පත් කළේ ව්‍යවස්ථානුකූලව මෙම බලය මත ය. මේ අතර අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ද ඊයේ දිනයේදී සිය අස්වීමේ ලිපි ජනාධිපතිතුමා වෙත යොමු කර තිබෙන බවට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සනාථ කළේ ය.