ජමාල් ඛෂෝගි සොයා මෙහෙයුමක්

ජමාල් ඛෂෝගි සොයා ඉස්තාන්බුල් නුවර කැළෑ ප්‍රදේශයක මෙහෙයුමක්

by Staff writer 19-10-2018 | 8:15 AM
(News 1st) - තුර්කි පොලීසිය අතුරුදන් වූ සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි සොයා ඉස්තාන්බුල් නුවර කැළෑ ප්‍රදේශයක් හා වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ සොදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ, නිර්ණාමිකව තුර්කි බලධාරියෙකු ඔහුගේ සිරුර ඉස්තාන්බුල් නුවරට යාබද කැළෑ ප්‍රදේශයක තිබෙන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය. මීට සති දෙකකට පෙර තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් අනතුරුව මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි අතුරුදන් විය. දැඩි වද හිංසාවලට ලක් කිරීමෙන් අනතුරුව හිස ගසා දමා ජමාල් ඛෂෝගි ඝාතනය කර ඇති බව තුර්කි මාධ්‍ය ඊයේ වාර්තා කළේ ය. මේ අතර නවතම බුද්ධි තොරතුරු අනුව ජමාල් ඛෂෝගි මිය ගොස් ඇති බවට වාර්තා වන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. ඔහු පවසා ඇත්තේ, ඛෂෝගිට සැබෑ ලෙසම සිදු වූ දේ පිළිබඳව දැන ගැනීමට තමන් ඉතා ඕනෑකමින් පසුවන බව ය.