මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි චෝදනා ඉල්ලා අස් කර ගනී

ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සිසුවාට එරෙහි චෝදනා සහ නඩුව එරට පොලීසිය ඉල්ලා අස් කර ගනී

by Staff writer 19-10-2018 | 10:21 AM
(News 1st) - ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව ගොනු කළ චෝදනා සහ නඩුව එරට පොලීසිය ඉල්ලා අස් කර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමෙන් නඩුව ඉල්ලා අස් කර ගෙන ඇති බව ය. ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් සරසවියේ අධ්‍යාපනය හදාරන සිසුවෙකු වන මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයෙකු යැයි පවසමින් පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට පත් විය. ඒ, එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සහ ජූලි බිෂොප් ඝාතනය කිරීමට තැත් කළ සැලසුමක් සම්බන්ධ සටහනක් ඔහුගේ සටහන් පොතක තිබූ බව පවසමිනි. විදෙස් වාර්තාවල දැක්වුණේ, සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ ලේඛනයක් ද ඔහු සතුව තිබී ඇති බව ය. හිටපු කථානායක බ්‍රොන්වින් බිෂොප්, සිඩ්නි ඔපෙරා හවුස් ඇතුළු තවත් පොලිස් ස්ථාන කිහිපයක් ද ඒ අතර වේ. කෙසේ වෙතත් සොයා ගත් සටහන්වල පැවති අත් අකුරු ඔහුගේ අත් අකුරු බවට සහතික කිරීමට පසුගිය නඩු වාරයේදී එරට පොලීසිය අපොහොසත් විය. අද මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි නඩුව පොලීසිය ඉල්ලා අස් කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ නීතිඥයා පැවසුවේ, තම සේවාදායකයාට සිදු වූ අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ය. ඒ සඳහා වැය වූ නඩු ගාස්තු ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.