ශ්‍රීලනිප මාවනැල්ල සම සංවිධායකවරයා රිමාන්ඩ්

ශ්‍රීලනිප මාවනැල්ල සම සංවිධායකවරයා රිමාන්ඩ්

by Staff writer 19-10-2018 | 3:23 PM
COLOMBO (News 1st) : බලපත්‍ර නොමැති ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල සම සංවිධායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, අද දහවල් ඔහු කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කෑගල්ල , ඈෂ්ලි පීරිස් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව ගිනිඅවි තුනක් සහ උණ්ඩ තොගයක් සමග ඊයේ පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගැනිණ. එහිදී එම්. පී. 5 කේ වර්ගයේ ගිනි අවියක්, ටි - 56 ගිනි අවියක් සහ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබේ. ඊට අමතරව Nine M M වර්ගයේ උණ්ඩ 79 ක්, ටී 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 33 ක්, රිපිටර් වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 17 ක් සහ සජීව පතරොම් 11 ක් ද එම මෙහෙයුමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තේ ය. ඔහු වැඩිදුර විමර්ශන සඳහා ඊයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දුන්නේ ය.