ජනපති ඝාතන තැත පිළිබඳව හින්දු පුවත්පත පළ කළ ප්‍රවෘත්තිය පිටුපස ඇත්තේ කුමක් ද?

by Staff writer 18-10-2018 | 8:36 PM
COLOMBO (News 1st) - ඉන්දීය රෝ සංවිධානය විසින් තමා ඝාතනය කිරිමේ තැතක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රතිචාර දක්වා තිබේ. නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඝාතන තැත සම්බන්ධයෙන් පළ කළ පුවත්පත් වාර්තා ද්වේශ සහගත බව ත් ඒ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිපාල මහතා කළ ඉක්මන් ප්‍රතිචාරය තමා අගය කරන බවයි. ඊයේ පස්වරුවේ, මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතා තමා සමග දුරකතනයෙක් සාකච්ඡා කළ බවත් මෙම නිවේදනයේ අගමැති මෝදි මහතා සඳහන් කර තිබේ. ද හින්දු පුවත්පත වාර්තා කළ අන්දමට, ඉන්දිය රෝ සංවිධානය තමා ඝාතනය කිරිමට තැත් කරන බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් මෙම වාර්තාව දෙරටේ මිත්‍රත්වය පළුඳු කිරීම අරමුණු කර ගනිමින් පළ කළ හුදු ද්වේශ සහගත තැතක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවත් මෙම නිවේදනයේ සඳහන් ය. මේ අතර මෙම වාර්තාව පළ කළ ද හින්දු පුවත් සේවයට එරෙහිව ඉන්දීය රජය ගනු ලබන පියවර මොනවා ද යන්න ප්‍රශ්නයක් පැන නගී. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිචාරය දැන ගැනීම සඳහා අප අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ මාධ්‍ය ලේකම් පියසේන දිසානායක යන මහත්වරුන් සම්බන්ධ කර ගත් අතර ඔවුන් පැවසුවේ, මෙය අගමැති කාර්යාලයට අදාළ කරුණක් නොවන බව ය. ඊට අදාළ කිසිදු තොරතුරක් හෝ ප්‍රතිචාරයක් ඔවුන් අප වෙත නොදැක්විය. කිසියම් පාර්ශවයක් මෙවැනි අසත්‍ය තොරතුරු විදෙස් මාධ්‍ය වෙත ලබා දීම මගින් බලාපොරොත්තු වන්නේ දෙරටේ රාජ්‍ය නායකයින් අතර අර්බුදයක් නිර්මාණය කිරීමට ද? අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි? මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර රටේ ජනතාවට සත්‍ය දැන ගැනීමට අයිතියක් නැද්ද?