එංගලන්තයට කඩුලු 7ක ජයක්

එංගලන්තයට කඩුලු 7ක ජයක්

by Staff writer 18-10-2018 | 7:10 AM

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ඊයේ කඩුලු 7කින් ජය ගනිමිනි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා එය එක් පිලකට පන්දුවාර 21 බැගින් ක්‍රියාත්මක වූ තරගයක් ලෙස ක්‍රියාත්මක විය. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ, නිරෝෂන් දික්වැල්ල සහ සදීර සමරවික්‍රමයි. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුනු 57ක සබඳතාවක් ගොඩනැගූ අතර දික්වැල්ල පන්දු 20කින් ලකුණු 36ක් රැස් කළහ. සදීර සමරවික්‍රම 4 පහර 4ක් ද සමගින් ලකුණු 35යි. කුසල් මෙන්ඩිස් සහ තිසර පෙරේරාට ලකුණු රැස් කිරීමට හැකි වුයේ නැහැ. නායක දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක 6 වැනි කඩුල්ලට ලකුණු 28ක සබදතාවක් ගොඩනැගුවා. වේගවත් පිතිහරඹයක නිරත වූ දසුන් ශානක පන්දු 10කින් 6 පහර 2ක් ද සමගින් ලකුණු 21ක් රැස් කළේ ය. චන්දිමාල් ලකුණු 34ක් රැස් කළ අතර නියමිත පන්දුවාර 21 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 150කි. ආදිල් රශීඩ් ලකුණු 36ට කඩුලු 4ක් දවා ගත් අතර ටොම් කරන් ලකුණු 17ට කඩුලු 3යි. එංගලන්ත පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 34කදී බිඳ වැටුණු නමුත් අනතුරුව ජේසන් රෝයි සමග එක් වූ නායක ඔයින් මෝගන් එංගලන්ත ඉනිම ගොඩනැගී ය. රෝයි ලකුණු 41ක් රැස් කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් තම 41 වැනි එක්දින අර්ධ ශතකය වාර්තාකරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 58කි. බෙන් ස්ටෝක්ස් නොදැවි ලකුණු 35ක් රැස් කළේ ය. අමිල අපෝන්සු ලකුණු 27ට කඩුලු 2ක් දවා ගත්තේ ය. එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 3කදී කඩුලු 3ක් දැවී සිටියදීයි.