ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා CIDය මග හරියි

by Staff writer 18-10-2018 | 9:24 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වීමත් සමග එවකට මූල්‍ය ප්‍රධානියා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මූල්‍ය අංශ ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට කිහිප වරක් ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. එම තොරතුරු වාර්තා කරන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට ගිය ද එහි කිසිවෙකු නොමැති බව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මූල්‍ය වංචාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ හිටපු ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ, මෙම සිදුවීම සයිබර් ප්‍රහාරයක් විය හැකි බව ය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු පද්ධතියේ මෙහෙයුම් කටයුතු සිදු කරන කීර්තිමත් ජාත්‍යන්තර සමාගම තහවුරු කර ඇත්තේ එවැන් සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බව ය. එය අභ්‍යන්තර ආරංචි මාර්ගයක් ඔස්සේ සනාථ කර තිබේ.‍ මේ පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තාක්ෂණික අංශයේ නිලධාරියා තහවුරු කළේ ද එවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බව ය.