මොහොමඩ් ඉමිතියාස් අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට

ටී - 56 ඇතුළු ගිනිඅවි දෙකක් සමග මාවනැල්ල ආසන සංවිධායකවරයෙකු අත්අඩංගුවට

by Staff writer 18-10-2018 | 5:37 PM
COLOMBO (News 1st) - බලපත්‍ර නොමැතිව ගිනිඅවි ළඟ තබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල සම සංවිධායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතා වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ඔහුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරන බව ය. බලපත්‍ර නොමැතිව ගිනිඅවි 3ක් සහ උණ්ඩ තොගයක් සමග අද පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගැනුණේ ඔහු පදිංචි නිවසේ සිටියදී ය. ඒ, කෑගල්ල ඈෂ්ලි පීරිස් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකිනි. එහිදී එම්. පී. 5 කේ වර්ගයේ ගිනිඅවියක්, ටි - 56 ගිනිඅවියක් සහ රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සොයා ගෙන තිබේ. ඊට අමතරව 9 MM වර්ගයේ උණ්ඩ 79ක්, ටී 56 ගිනිඅවි සඳහා යොදා ගන්නා උණ්ඩ 33ක්, රිපීටර් වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ 17ක් සහ සජීව පතරොම් 11ක් ද එම මෙහෙයුමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගෙන තිබේ. සැකකරු මෙම ගිනිඅවි සන්තකයේ තබා ගෙන සිටියේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. මෙම සැකකරුට එරෙහිව ගිනිඅවියක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරු හෙට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.