කවුරුත් ඉල්ලූ මිල සූත්‍රය

ඉන්ධන මිල සූත්‍රය කරළියට: පාරිභෝගිකයින්ගෙන් සැඟවූ බදු ප්‍රමාණය හෙළි වෙයි

by Staff writer 18-10-2018 | 10:10 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍යවරයා ඇතුළු බොහෝ දෙනෙක් නොදැන සිටි ඉන්ධන මිල සූත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද මාධ්‍යයට අනාවරණය කළේ ය. එම මිල සූත්‍රය පහත පරිදි වේ. MRP = V i + V ii + V iii + V iv ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී සිංගප්පූරු Platts බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස් වීම පාලනය කළ නොහැකි විචල්‍යන් බවත් අනෙකුත් දර්ශක පාලනය කළ හැකි ස්ථාවර ඒවා බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව පාලනය කළ හැකි දර්ශකයන් මොනවා ද? මිල සූත්‍රයට අනුව 2018 ඔක්තෝබර් 10 සිට ඔක්ටෙන් 92 පෙට්‍රල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් වීමට අදාළව සලකා බැලීමේදී වඩාත් පැහැදිලි වන කරුණ නම් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා බදු වශයෙන් රුපියල් 53.68ක් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා බදු වශයෙන් රුපියල් 61.27ක් ද බදු වශයෙන් අය කරන බව ය. ඒ අනුව මුදල් අමාත්‍යංශය පවසන පරිදි සෙසු මෙම දර්ශකයන් පාලනය කිරීමට හැකි නම් මෙලෙස අය කරන බදු ද පාලනය කිරීමට හැකියාව පවතී. මේ බදු ප්‍රමාණය ඉවත් කරන්නේ නම්, දැනට වෙළෙඳපොළේ රුපියල් 155ට අලෙවි වන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 102කට ද, රුපියල් 169ට අලෙවි වන ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 108ක් වැනි මුදලකට ද ලබාදීමට හැකියාව පවතී. එමෙන් ම මිල සූත්‍රයට අනුව 2018 ඔක්තෝබර් 10 සිට ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා බදු වශයෙන් අය කරන ප්‍රමාණය සටහන් වන්නේ රුපියල් 25.48ක් ද, සුපර් ඩීසල් සඳහා බදු අය කිරීම රුපියල් 32.21ක් ලෙස ය. ඒ අනුව එම බදු ප්‍රමාණය ද ඉවත් කරන්නේ නම් මෙරට සාමාන්‍ය ජනතාවට දැනට රුපියල් 123ක්ව පවතින ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 98කට ද දැනට රුපියල් 141ක්ව පවතින සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 109කට ද අලෙවි කිරීමේ හැකියාව පවතී. එවන් තත්ත්වයක් තුළ රජය මිල සූත්‍ර හඳුන්වා දෙනවා වෙනුවට බදු ගැසීම අවම කර ජනතාවට සහන නොදෙන්නේ ඇයි ?