ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් 200m ඉසව්වේ 9 වැනි තැනට

ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් මීටර් 200 ඉසව්වේ 9 වැනි තැනට

by Staff writer 17-10-2018 | 9:00 PM
COLOMBO (News 1st) : යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ ෂෙලින්ඩා ජැන්සන් පත් වූවා ය. ජැන්සන් එම ඉසව්වේ දෙවැනි අදියරේ මූලික වටයේ තරගයේ පළමු ස්ථානයට පත් වුණේ සිය පෞද්ගලික හොඳ ම දක්ෂාතව වාර්තා කරමිනි. ආර්ජන්ටිනාවේදී පැවති මෙම තරගයේදී ෂෙලින්ඩා ජැන්සන් තත්පර 24 .07 ක කාලයකින් තරගය අවසන් කළේ ය. ක්‍රීඩා උළලේ තරග කොන්දේසි අනුව අවසන් තරගයක් නොපවැත්වෙන අතර අදියර දෙකකින් මූලික වටයේ තරග පවත්වා, එම තරග දෙකේදී ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක වාර්තා කරන කාලයයේ එකතුව ගණනය කරමින් ජයග්‍රහකයා තොරා ගනු ලබයි. ඒ අනුව පැවැති තරග 2 දී ෂෙලින්ඩා ජැන්සන් තත්පර 49.07 ක කාලයක් වාර්තා කරමින් මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට පත් වූවා ය. ෂෙලින්ඩා මීටර් 200 පළමු අදියරේ පළමු මූලික වටයේදී තත්පර 25.00 ක කාලයක් වාර්තා කළා ය. මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 200 බාලික කනිෂ්ඨ ඉසව්වකින් වාර්තා වූ 3 වන හොඳ ම කාලය වාර්තා කළ ක්‍රීඩිකාව වන්නේ ද ෂෙලින්ඩා ජැන්සන් ය. මීට පෙර සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ෂා ඉහළ දක්ෂතා දක්වා තිබේ.