ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

by Sagarika Chathumali 17-10-2018 | 4:25 PM
COLOMBO (News 1st) : ඉන්දීය බුද්ධි අංශ සේවාවක් තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සඳහනක් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා සිදුකර නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉන්දිය බුද්ධි අංශ සේවාවක් පිළිබඳව සඳහන් කෙරුණු බවට දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පිළිබඳව තම අවධානය යොමුව ඇති බවයි. ඊයේ පැවති රැස්වීමේදී ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ක්‍රියාත්මක වී යැයි කියන කුමන්ත්‍රණ තැත සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. ඒ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් එහිදී අවධාරණ්‍ය කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. එම කැබිනට් රැස්වීමේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡා වී තිබේ. ජාතික ආර්ථිකයේ යහපත උදෙසා ශ්‍රී ලංකාවට ගැඹුරු මුහුදක් සහිත වරාය පර්යන්තයක් තිබීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. අදාළ මාධ්‍ය වාර්තාවට පසු ඉන්දීය මහකොමසාරිස්වරයා අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමු වී තිබේ. එම සාකච්ඡාවේදී සියලු කරුණු පැහැදිලි කෙරුණු අතර ද්විපාර්ශ්වීය සබඳතා ඉහළ ම සුහදශිලී බවකින් සිදුවන බව සහතික කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එම තත්ත්වය යටතේ දෙරට අතර පවත්නා යහපත් සබඳතාවන්ට මෙන්ම රාජ්‍ය නායකයින් අතර පවතින පෞද්ගලික හිතවත්කමට අනර්ථයක් කිරීමේ අභිලාසයෙන් මෙවැනි විකෘති ප්‍රකාශ කිරීම කනගාටුදායක බවයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්....