ජනපති ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන තොරතුරු

තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනපති කියයි

by Staff writer 17-10-2018 | 9:44 AM
(News 1st) - තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනාධිපතිතුමා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී පවසා ඇතැයි ද හින්දු පුවත්පත අද වාර්තා කළේ ය. එම වාර්තාවේ දැක්වෙන්නේ, CIA සංවිධානයේ කටයුතු පිළිබඳ ජනපති ට්‍රම්ප් නොදන්නවා සේම, මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නොදන්නවා විය හැකි බව ය. ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ, රජයේ විවිධ පාර්ශව ඇතුළු මූලාශ්‍ර ගණනාවකින් විමසා කරුණු තහවුරු කර ගත් බව ද හින්දු පුවත්පත සඳහන් කළේ ය. මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව ජනාධිපති උපදේශකයින් සහභාගී වන ප්‍රවෘත්ති සාකච්ඡාවක් සැලසුම් කර තිබූ බවත් පසුව එය අවලංගු කර ඇති බවත් හින්දු වාර්තාවේ සඳහන් ය. මේ පිළිබඳව ජනාධිපති උපදේශක ශිරාන් ලක්තිලක මහතාගෙන් විමසීමක් කර ඇති අතර තවත් තොරතුරු ලැබෙන තෙක් බලා සිටින බැවින් එම සාකච්ඡාව අවලංගු කළ බව ඔහු ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයේදී කළ ප්‍රකාශය හා මෙම මාධ්‍ය හමුව කල් දැමීම පිළිබඳව සම්බන්ධයක් ඇත්දැයි හින්දු පුවත්පත කළ විමසුමකදී ලක්තිලක මහතා පවසා ඇත්තේ, එම ප්‍රකාශය හා සාකච්ඡාව කල් දැමීම අතර කිසිදු සබඳතාවක් නොමැති බව ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සති අන්තයේ නව දිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ඉන්දියාවේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ඇතුළු ද්වීපාර්ශවික කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු රෝ ඒජන්තවරයෙකු බව කියන ඉන්දීය ජාතිකයා පිළිබඳව පසුගියදා මංගල සමරවීර මහතාගෙන් කළ විමසුමක් සම්බන්ධයෙන් ද හින්දු පුවත්පත කරුණු වාර්තා කර තිබිණි. එහි දැක්වුණේ, ඉන්දීය ජාතිකයා හා සම්බන්ධ සිද්ධියේ තොරතුරු විකෘති ලෙස වාර්තා කිරීමක් බවත් වාර්තාකරුවන් වගකීම් සහගත විය යුතු බවත් අමාත්‍යවරයා පවසා තිබූ බව එහි දැක්විණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව සමග කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය වැඩි දියුණු කිරීමට අදාළව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් සංවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වූ බව පුවත්පත් රැසක් අද වාර්තා කළේ ය. එම වාර්තාවල දැක්වුණේ, ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් එකඟතාව පළ නොකළ බව ය. දූෂණ විරෝධී හඬ නමැති සංවිධානයේ ප්‍රධානී නාමල් කුමාර නමැත්තා සිදු කළ අනාවරණයකින් පසුව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුව කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව කරුණු අනාවරණය විය. අනතුරුව ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනුණේ, නාමල් කුමාර නමැත්තාගේ වරකාපොළ නිවසට වරින් වර පැමිණ කරුණු විමසා බැලූ බව පවසමිනි. නමුත් මෙම ඉන්දීය ජාතිකයා මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීම සිදු වේ. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමත් සමග කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, මොහු අයහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම නිසා ප්‍රතිකාර පවා ලබා ගත් අයෙකු බව ය.