බන්ධනාගාර වැටලීමකින් ජංගම දුරකතන 32 ක් සොයා ගැනේ

බන්ධනාගාර වැටලීමකින් ජංගම දුරකතන 32 ක් ඇතුලු නීති විරෝධි ද්‍රව්‍ය රැසක් හමුවේ

by Staff writer 16-10-2018 | 6:59 AM

COLOMBO (News 1st) - ඔක්තෝබර් මාසයේ ගත වූ දින කිහිපය තුළ බන්ධනාගාර ආශ්‍රිතව කළ වැටලීම්වලදී රැඳවියන් සතුව තිබු ජංගම දුරකතන 32 ක් ඇතුලු නීති විරෝධි ද්‍රව්‍ය රැසක් හමුවී ඇතැයි බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ ය.

බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කොළඹ මැගසින්, රිමාන්ඩ් බන්ධනාගාරවලින් පමණක් දුරකතන 18 කට අධික ප්‍රමාණයක් හමු වූ බවය. කළුතර, මීගමුව සහ දුම්බර බන්ධනාගාර ආශ්‍රිතව කළ හදිසි වැටලීම්වලදී හමුවී ඇති දුරකතන සංඛ්‍යාව 14 කට අධිකය. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, රැඳවියන් සතුව තිබී හමු වූ එම දුරකතන ඉදිරි විමර්ශන සඳහා මුද්‍රා තැබීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට පියවර ගන්නා බවය. මේ අතර රැඳවියන් සමග සබඳතා පැවැත්වීම ඇතුලු විවිධ චෝදනා යටතේ, විනය පරීක්ෂණවලට ලක් වූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මූලික විමර්ශනවලින් පසු විධිමත් පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ද බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මූලික විමර්ශනවලදී චෝදනාවලින් නිදහස් වූ නිලධාරීන් දෙදෙනෙකු නැවත සේවයේ පිහිටුවා ඇති බවයි. නිලධාරීන් සම්බන්ධයෙන් දෛනිකව නිර්ණාමික පැමිණිලි 10 - 15 අතර ප්‍රමාණයක් අමාත්‍යාංශයට ලැබෙන බව ද ඔහු පවසා ඇත. මේ අතර බන්ධනාගාරවල බාහිර ආරක්ෂා සඳහා යෙදවීමට නියමිතව තිබු පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම ලබන 20 වන දා දක්වා ප්‍රමාද වන බව ද බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් ඊයේ සිට හඳුනාගත් බන්ධනාගාර කිහිපයක බාහිර ආරක්ෂාවට යෙදවීමට සැලසුම් කර තිබු බවයි. එහෙත් බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන ප්‍රතිසංස්කරණ හේතුවෙන් එම පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඒ අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ්, වැලිකඩ සහ අගුණකොළපැලැස්ස යන බන්ධනාගාර වෙත ලබන 20 වන දා සිට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් යෙදවෙනු ඇති. පැය 24 සේවය යෙදවෙන පරිදි සෙබළුන් 300 ක භට පිරිසක් ඒ සඳහා අනුයුක්ත කෙරෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.