ICCයට කරුණු දක්වන්න සනත් ජයසූරිය සැරසෙයි

තමන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ICCයට කරුණු දක්වන්න සනත් සැරසෙයි

by Staff writer 16-10-2018 | 9:55 PM
COLOMBO (News 1st) - අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් කරුණු දැක්වීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි ඊයේ දිනයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය කරුණු දෙකක් යටතේ හිටපු තේරීම් කමිටු සභාපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. ඒ අනුව ඔක්තෝබර් මස 15 වන දා සිට දින 14ක් ඇතුළත අදාළ කරුණු සම්බන්ධයෙන් කරුණු දැක්විය යුතු ය. ICCය ගොනු කළ චෝදනා... *2.4.6 වගන්තිය සාධාරණ හේතුවකින් තොරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම. *2.4.7 වගන්තිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය විසින් කරනු ලබන පරීක්‍ෂණ සඳහා බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ, මේ අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දැක්වීමෙන් වැළකී සිටින ලෙස සිය නීතිඥවරුන් තමාව දැනුවත් කර ඇති බව ය. එසේම සිය නීතිඥවරු අදාළ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කටයුතු කරමින් සිටින බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම නිවේදනයෙන් පවසයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, තමාට කිසිසේත්ම තරග පාවා දීම් පිළිබඳ හෝ තණතීරු පවා දීම් පිළිබඳ චෝදනා එල්ල නොවන බවත් විමර්ශනයට සහය ලබා නොදීම පිළිබඳව පමණක් චෝදනා ගොනු කර ඇති බවත් ය. තමා සෑම අවස්ථාවකදීම විනිවිද භාවයෙන් යුතුව කටයුතු කර ඇති අතර ක්‍රීඩාව තුළදී ක්‍රීඩාවේ ගෞරවය වෙනුවෙන් ඉදිරියේදීත් කටයුතු කරන බව නිවේදනයේ දැක්වේ.