ආනයන සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සතියක් තුළ වාර්තාවක් දෙන්නැයි ජනපති මුදල් අමාත්‍යංශයට දන්වයි

by Staff writer 16-10-2018 | 8:25 PM
COLOMBO (News 1st) - ආනයන සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ. ඒ, ලෝක වෙළෙඳපොළ තුළ දැනට උද්ගත වී ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් සෙවීමේ අරමුණිනි. නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ජාතික ආර්ථික සභාව අද රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන් බව ය. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සමග මතුව ඇති ආර්ථික අභියෝගයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කර ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය දිරි ගැන්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව ය. දැනට මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ අතරින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා යාවත්කාලීන කර පොළිතීන් ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් ද අද රැස් වූ ජාතික ආර්ථික සභාවේ අවධානය යොමුව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මංගල සමරවීර, රාජිත සේනාරත්න, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ය.