වැට් බද්දෙන් රජය උපයන ආදායම ඉහළට

වැට් බද්දෙන් රජය උපයන ආදායම ඉහළට

by Staff writer 16-10-2018 | 10:26 PM
COLOMBO (News 1st) - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2017 වසර සඳහා වන කාර්ය සාධන වාර්තාව පසුගියදා නිකුත් කෙරිණි. මෙමගින් අපූරු කරුණු රැසක්ම අනාවරණය කෙරේ. වර්තමාන රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ රජයේ ආදායම් ගැන කතා කෙරෙන සැම විටම බලධාරීන්ගේ අදහස වූයේ ඍජු බදු ප්‍රමාණය ඉහළ දමන, වක්‍ර බදු ප්‍රමාණය අවම කරවන අර්ථීක සහ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන බව ය. නමුත් කතාව කෙසේ වුවත් ක්‍රියාවෙන් සිදු වී ඇත්තේ ඊට හාත්පසම වෙනස් දෙයක් බව මෙම වාර්තාව පෙන්නුම් කරයි. ඍජු බදු වර්ධනය කර ගැනීම අපේක්ෂාව බව ප්‍රකාශ වුණ ද ප්‍රධානම ඍජු බද්දක් වන ආදායම් බදු ප්‍රමාණය 2015 වසරේ සිට 2017 වන විට 11.57%කින් අඩු වී තිබේ. එනම් රුපියල් බිලියන 256.43 සිට රුපියල් බිලියන 229.84 දක්වා ය. නමුත් විශේෂතම කරුණ වන්නේ, දුප්පත් පොහොසත් බේදයකින් තොරව රටේ සියලු මහජනතාව ගෙවිය යුතු වක්‍ර බද්දක් වන වැට් බදු අය කර ගැනීම බරපතළ ලෙස ඉහළ යාම ය. 2015දී රුපියල් බිලියන 214ක් වූ වැට් බදු 2017 වන විට රුපියල් බිලියන 443.74ක් දක්වා 107.2%කින් ඉහළ ගොස් තිබේ. මෙම නිරීක්ෂණ මනාව පෙන්නුම් කරන්නේ මෙරට බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බලධාරීන් සහ දේශපාලනඥයින්ගේ නොහැකියාව නොවේ ද? තව ද මෙම වාර්තාව තවත් වැදගත් කාරණාවක් අනාවරණය කරයි. එනම් 2017 වසර අවසන් වන විට අය කර ගැනීමට නොහැකි වූ බදු ප්‍රමාණය රුපියල් මිලියන 19343ක් හෙවත් බිලියන 19ක් බව ය. අප රජයේ සීමිත ජාතික ආදායම සලකා බලන කල රුපියල් බිලියන 19ක් යනු ඉතා විශාල මුදල් ප්‍රමාණයකි. මේවා අය කර ගන්නට බලධාරීන් අවශ්‍ය පියවර ගන්නවද? නොඑසේ නම් එම වාසිය කූට බදු වංචාකරුවන්ට යළිත් අත් වෙන්නට ඉඩ දෙනවා ද?