මාධ්‍යවේදී ජමාල් ඛසෝගි ඝාතනය කළ බවට සාක්ෂි හමුවෙයි

මාධ්‍යවේදී ජමාල් ඛසෝගි ඝාතනය කළ බවට සාක්ෂි ඇතැයි තුර්කිය කියයි

by Staff writer 16-10-2018 | 7:41 AM

සෞදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛසෝගි, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ බව තහවුරු කරන සාක්ෂි හමු වූ බව තුර්කි බලධාරීන් පවසයි.

තුර්කිය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පසුවරුවේ තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය පරීක්ෂා කිරීමෙන් පසුවය. මෙය ජමාල් ඛසෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල විශාල ප්‍රගතියක් සටහන් කරන බව තුර්කි බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ. ඔවුන් සඳහන් කළේ, පරීක්ෂණයේ ප්‍රතිඵල තව දින දෙක තුනකින් ප්‍රකාශයට පත් කරන බවයි. සිය බිරිඳගෙන් දික්කසාද වූ බව තහවුරු කිරීමට අදාළ ලිපියක් ලබාගැනීම සඳහා ජමාල් ඛසෝගි මීට සති දෙකකට පෙර තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ගිය අතර ඉන් පිටතට ඔහු පැමිණ තිබුණේ නැත. මේ අතර ජමාල් ඛසෝගි ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සිදු වූ වැරැද්දකින් ඔහු ඝාතනය කෙරුණු බව පිළිගැනීමට සෞදි අරාබිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ජමාල් ඛසෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා දායකත්වය ලබාදීමට අමෙරිකාව කැමැත්ත පළකර තිබුණි. ජමාල් ඛසෝගි සැලකෙන්නේ සෞදි අරාබි ඔටුන්න හිමි කුමරුගේ දැඩි විවේචකයකු ලෙසයි.