සින්දාත්‍රිමාතා විදුහලේ දරුවන් පොල්අතු මඩුවේ අකුරු කළ කාලය අදින් අවසන්..

by Staff writer 15-10-2018 | 8:35 AM

COLOMBO (News 1st) : ගම්මැද්ද වැඩ 1000 ව්‍යාපෘතිය යටතේ කල්පිටිය, සින්දාත්‍රිමාතා ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය අද සිසු අයිතියට පත් කෙරුණි.

අවම පහසුකම් හෝ නොමැති මේ පාසැලේ දරුවන් අකුරු කළේ පොල් අතු සෙවිලි කළ ගොඩනැගිලි තුළයි. ගම්මැද්ද ගෙයින් ගෙට ගමනේදී අපට හමු වූ මේ දරුවන්ගේත්, ඔවුන්ගේ දෙමාපියන්ගේත් ප්‍රමුඛ අවශ්‍යතාව බවට පත් වූයේ අව්වට වේලෙන්නේ නැති, වැස්සට තෙමෙන්නේ නැති ගොඩනැගිලිවල අකුරු කිරීමයි. ලන්කැන් පදනම සමග එක් ව ගම්මැද්ද වැඩ 1000 නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය ජනවාරි මස 22 වැනි දායි. ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සඳහා ලන්කැන් පදනම හා ගම්මැද්ද එක් ව මියැසිතොට නමින් සංගීත ප්‍රසංගයක් ද පවත්වනු ලැබීය. මාස නවයක් වැනි කෙටි කාලයකින් ඒ දරුවන්ගේ අහිංසක බලාපොරොත්තු යාථාර්තයක් බවට පත් කරන්නට ලන්කැන් පදනමට හා ගම්මැද්ද වැඩ 1000 ට අද හැකියාව ලැබුණි. පන්ති කාමර 6 ක් සහ විද්‍යාලයීය ප්‍රධාන කාර්යාල ස්ථාපිත කිරීමට හැකි පරිදි මෙම ගොඩනැගිලි සංකීර්ණය මෙන් ම, දරුවන්ගේ සෙල්ලම් මිදුල ද අද සිසු අයිතියට පත්කෙරුනේ, ලන්කැන් පදනමේ සභාපති රුවන් කෑරගල හා කැපිටල් මහාරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ය. මේ අවස්ථාවට කල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දීප්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් එක් ව සිටියහ.