ඉතාලි රජය 'රයිස්' නගරයේ සංක්‍රමණිකයින් ඉවත් කෙරේ

'රයිස්' නගරයේ සංක්‍රමණිකයින් ඉවතට - තීන්දුවට එරෙහි වූ නගරාධිපති නිවාස අඩස්සියේ

by Staff writer 14-10-2018 | 7:47 AM

COLOMBO (News 1st) - සුප්‍රසිද්ධ රයිස් නගරයෙන් සංක්‍රමණිකයින් ඉවත් කිරීමට ඉතාලි රජය තීරණය කර තිබේ.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ලබන සතියේ ඔවුන් වෙනත් සංක්‍රමණික මධ්‍යස්ථානවලට යොමු කරන බවයි. රජයේ තීරණවලට විරුද්ධ වූ රයිස් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. ඒ, රයිස් නගරයෙන් සංක්‍රමණිකයින් ඉවත් කිරීමට ඉතාලි රජය ගත් තීරණයට එරෙහිවී ඔවුන් රැක ගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. නගරාධිපති ඩොමිනිකෝ ලුකානෝ රයිස් නගරය ලෝක ප්‍රකට සංක්‍රමණික කලාපයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කළ අයෙක් ය. 1998 වසරේදී ඔහු ආරම්භ කළ වැඩපිළිවෙළට අනූව සංක්‍රමණිකයින් සඳහා රැකියා සහ භාෂා පුහුණුව පවා ලබා දුන්නේ ය. මේ වන විට එම නගරයේ සිටින සංක්‍රමණිකයින් සංඛ්‍යාව 2000 කට අධිකයි. 2016 වසරේදී රයිස් නගරාධිපති ඩොමිනිකෝ ලුකානෝ ලොව හොඳම නායකයින් 50 දෙනා අතරට ඇතුළත් විණි. ඒ, සංක්‍රමණිකයින් සුරැකීම වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළත් සමගයි. මේ හේතුවෙන් ඔහු ලෝක ප්‍රකට චරිතයක් බවට පත් විය. කෙසේ වෙතත් ඉතාලියේ නම ලෝකයට ගෙන ගිය රියාස් ආකෘතිය කඩා බිඳ දැමීමට රජය ගෙන ඇති තීරණය එරට විපක්ෂ දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු විද්වතුන් හෙළාදැක තිබේ. මෙම ගැටලුව උද්ගතව ඇත්තේ කිසිදු සංක්‍රමණිකයෙකු යළි භාර නොගැනීමට, ඉතාලි නව රජය ප්‍රතිප්තිමය එකඟතාවකට පැමිණ ඇති පසුබිමකයි.