පදක්කමක් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග බිමට...

පදක්කමක් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යොවුන් ඔලිම්පික් තරග බිමට

by Staff writer 14-10-2018 | 8:30 AM

ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලේ තරග 9 වන දිනටත් අද පැවැත්වේ.

සිය මූලික වටයේ තරග ඉසව්වලදී ඉහළ දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද සිය තරග ඉසව්වේ අවසන් තරගය සඳහා සහභාගිවීමට නියමිත වේ. ශ්‍රී ලංකාවේ සෙනිරු අමරසිංහ උස පැනීමේ තරග ඉසව්වේ අවසන් තරගය සඳහා අද සහභාගී වනු ඇති. මීටර් 400 ධාවන තරග ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන්නේ හසිත බෝයගෝඩයි. පසුගිය 6 වන දා ආරම්භ වූ යොවුන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 13 කි. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු පදක්කමක් ලබාගෙන නැත. යොවුන් ඔලිම්පික් උළෙලේ තරග පැවැත් වූ දින 8 ක් අවසානයේ සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ හිමි ව ඇත්තේ රුසියාවටයි. ඔවුන් රන් පදක්කක්ම් 21 ක් රිදී පදක්කම් 8 ක් හා ලෝකඩ පදක්කම් 6 ක් සමගින් සමස්ත පදක්කම් 35 ක් දිනාගෙන ඇත. සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය ඒකාබද්ධ කණ්ඩායමට හිමි ව ඇති අතර ඔවුන්ට හිමි ව ඇති පදක්කම් ගණන 29 කි. රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් 9 ක් හා ලෝකඩ පදක්කම් 10 ක් ඇතුළත් වේ. සමස්ත පදක්කම් සටහනේ තෙවන ස්ථානය ජපානයට හිමි ව තිබේ.