අම්පාර වැවේ හංස බෝට්ටු යෑම තහනම් !

අම්පාර වැවේ හංස බෝට්ටු සේවාව නතර කරන්නැයි නියෝගයක් !

by Hashini De Mel 14-10-2018 | 12:59 PM

COLOMBO (News 1st) - අම්පාර වැවේ පවත්වාගෙන යන හංස බෝට්ටු සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන 17 වැනි දාට පෙර නතර කරන්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අම්පාර නගර සභාවට දැනුම් දී තිබේ.

ඒ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට පටහැනි ක්‍රියාවක් සිදුකළ බවට චෝදනා කරමිනි. අම්පාර දිස්ත්‍රික් සහකාර වනජීවි අධ්‍යක්ෂක ගාමිණී වික්‍රමතිලක මහතා පැවසුවේ, අවසරයකින් තොරව එම බෝට්ටු සේවාව පවත්වාගෙන යන බවයි. ගල්ඔය නිම්න ඊසානදිග අභයභූමියේ පිහිටි අම්පාර වැවේ එලෙස බෝට්ටු සේවාවක් පවත්වාගෙන යාම නීති විරෝධි ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කළේ ය. සිය දැනුම්දීමට අනූව ලබන 17 වැනි දාට පෙර බෝට්ටු සේවාව නතර නොකරන්නේ නම්, අම්පාර නගර සභාවට එරෙහිව නඩු පවරන බව ද සහකාර වනජීවි අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය. මේ සම්බන්ධයෙන් අම්පාර නගර සභාවේ සභාපති චමින්ද සුගත් මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, දැනුම්දීමක් කළ ද එම බෝට්ටු සේවාව නතර නොකරන බවයි.