ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Hashini De Mel

14 Oct, 2018 | 6:37 am

දේශීය පුවත්

1. තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල ප්‍රථම වතාවට කෘතිම දණහිස් බද්ධ කිරීමක් සිදු කරයි: තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල් ඉතිහාසයේ ප්‍ර‍ථම වතාවට කෘතිම දණහිස් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමට වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වී තිබේ.

පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් මෙම ශල්‍යකර්මය සිදු කර ඇති අතර විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඊට එක් විය.

2. සා/පෙළ හා උ/පෙළ විභාග දෙසැම්බර් පැවැත්වීමට රජයේ අවධානය: සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ය.

3. උදා ගම්මාන ව්‍යාපෘතියට ඉන්දීය රජයෙන් රුපියල් ලක්ෂ 6000ක්: ඉන්දීය රජය විසින් උදා ගම්මාන ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 6000ක මුදල් ආධාරයක් ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත යන මහත්වරු එක් ව සිටියහ.

4. විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වියදම් බිලියන ගණනක් වුවත් බොහෝ වැඩ කොන්ත්‍රාත් පදනමට:ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික මෙහෙයුම් වියදම් ගත වූ වසර කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය දා කොන්ත්‍රාත් පදනම මත සිටි සේවකයින් 6759 දෙනෙකු ස්ථිර සේවයට බඳවා ගැනීම, වර්ෂ තුනකට වරක් සියයට 25ත් 30ත් අතර අගයකින් සිදු වන වැටුප් වැඩි කිරීම් මෙම වියදම් ඉහළ යාමට බලපා තිබේ.

මෙතරම් විශාල මුදලක් විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් වැය කරන පසුබිමක් තුළ විදුලිබල මණ්ඩලය හරහා සිදු කළ හැකි බොහෝ කටයුතු අද සිදු කෙරෙන්නේ පෞද්ගලික කොන්ත්‍රාත් මතයි.

5. රුපියල් කෝටි 3 ක හෙරොයින් රැගෙනා ආ විදේශිකයා කටුනායකදී අත්අඩංගුවට: රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත්කළ පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් පුවත්

6. ජාත්‍යන්තර විවේචන මැද නව සාමාජික රාජ්‍යයන් 18 ක් එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට එක්වෙයි: එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක් එක් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ ඊයේ පැවැති ඡන්ද විමසීමකදී මෙම නව රාජ්‍යන් 18 ට තේරි පත් වී ඇති බවයි.

ක්‍රීඩා පුවත්

7. ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 31ක ජයක්: ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය එංගලන්තය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 31කින් ජය ගත්තේ ය.