විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වියදම් බිලියන ගණනක් වුවත් බොහෝ වැඩ කොන්ත්‍රාත් පදනමට

by Staff writer 13-10-2018 | 8:25 PM
COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික මෙහෙයුම් වියදම් ගත වූ වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. විදුලිබල මණ්ඩලයේ ආදායම් වියදම් වාර්තාවක් අවසන් වරට ඉදිරිපත් වී ඇත්තේ 2015 වර්ෂයේදී ය. එම වර්ෂයේදී බිලියන 42ක් පමණ වූ විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් වියදම 2017/2018 වර්ෂ වන විට බිලියන 47 ඉක්මවා ඇති බවට තොරතුරු වාර්තා වේ. එනම් එක් සේවකයෙකු වෙනුවෙන් වන මාසික වියදම දළ වශයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න ය. පසුගියදා කොන්ත්‍රාත් පදනම මත සිටි සේවකයින් 6759 දෙනෙකු ස්ථිර සේවයට බඳවා ගැනීම, වර්ෂ තුනකට වරක් සියයට 25ත් 30ත් අතර අගයකින් සිදු වන වැටුප් වැඩි කිරීම් මෙම වියදම් ඉහළ යාමට බලපා තිබේ. මෙතරම් විශාල මුදලක් විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් වැය කරන පසුබිමක් තුළ විදුලිබල මණ්ඩලය හරහා සිදු කළ හැකි බොහෝ කටයුතු අද සිදු කෙරෙන්නේ පෞද්ගලික කොන්ත්‍රාත් මත ය. විදුලි රැහැන් ආශ්‍රිත ගස්වල අතු කැපීම, නව රැහැන් එළීම, නව විදුලි මනු ස්ථාපනය කිරීම, විදුලි කණු නිෂ්පාදනය, විදුලි රැහැන් ඇදීමට අදාළ කොටස් හා උපාංග නිෂ්පාදනය වැනි දේ පවා කොන්ත්‍රාත් පදනම මත සිදු කෙරේ. මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් සිදු කරන වියදම් ඉහළ ගොස් ඇති බව සඳහන් වූ නමුත් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, කම්කරු මට්ටමේ සිටින සේවකයින්ගේ රැකියාවට අවශ්‍ය අත්වැසුම් වැනි මූලික මෙවලම් පවා නිසි පරිදි ලබා දීමට පාලනාධිකාරිය අසමත් වී ඇති බව ය. කෙසේ නමුත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත ඉහළ මිලට සූඛෝපභෝගී වාහන භාවිත කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පෙන්වා දෙයි. මේ අතර විදුලිබල මණ්ඩලය අවාසි සහගත ලෙස එළැඹ ඇති ගිවිසුම් මත විදුලිය මිලදී ගැනීම තුළ ද මේ වන විට විශාල මූල්‍යමය පාඩුවක් සිදු වෙමින් පවතියි. ඊට හේතුව විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලගාර සඳහා සිදු කරන ඇතැම් ගෙවීම් ඩොලර් පදනම මත සිදු කිරීමට එකඟ වී තිබීම ය. ගත වූ කෙටි කාලය තුළ අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් පෞද්ගලික බලාගාර සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. මෙහි ඇති අනෙක් ගැටලු සහගත කරුණ නම් දේශීය පෞද්ගලික බලාගාරවලට ඩොලර්වලින් ගෙවීම් සිදු කිරීමට ඇති අවශ්‍යතාව කුමක් ද යන්න යි.